යුද්ධ හමුදාධිපතිතුමන් කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 52 A සහ 52 B විසිර යාමේ උත්සවයට සහභාගි වෙයි

කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 52 A සහ 52 B හි විසිර යාමේ පෙළපාලිය ඌව - කුඩාඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී 2025 සැප්තැම්බර් මස 20 වන දින පැවති අතර, එහිදී නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 78 දෙනෙකු විසිර යනු ලැබීය.

මෙම විසිර යාමේ උත්සව අවස්ථාව සඳහා 1 බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න RSP ගේ ආරාධනයෙන් යුතුව ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය ද සහභාගි වූහ.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්ව, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ වැඩ බලන සේනාවිධායක ලුතිනන් කර්නල් කේ.ආර්.ජේ.එම්.බී කන්දෙවත්ත RWP USP විසින් පිළිගනු ලැබූ අතර, අනතුරුව විසිර යාමේ පෙළපාලියට පෙර එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

තවද, උත්සවය අතරතුර, පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ දෙමාපියන් හා ළඟම ඥාතීන් විසින් ඔවුන් හට කමාන්ඩෝ නිල ලාංඡන පැළඳවීම සිදුකරන ලදී. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු සමගින් විසිර යන ලද නිලධාරින්ගේ හා සෙසුනිලයන්ගේ අනන්‍යතාවය සහ වෘත්තීය ගෞරවය සංකේතවත් කරන්නාවූ මෙරූන් හිස්වැසුම ඔවුන් වෙත ප්‍රදානය කෙරිණි. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම පාඨමාලාවේ විශිෂ්ට දක්ෂතා දැක්වූවන් වෙත විශේෂ ත්‍යාග පිරිනමණ ලදී.

පාඨමාලාවේ දක්‍ෂතම කමාන්ඩෝ භටයාට හිමි සම්මානය ලුතිනන් ආර්.එම්.ආර්.යූ දිසානායක දිනාගත් අතර දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ලුතිනන් එන්.එම්.එස්.සී දිසානායක හට හිමි විය. හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් යුත් සෙබලා ලෙස ලාන්ස් කෝප්‍රල් වීරසිංහ ඩබ්ලිව්.එම්.සී.එස් සම්මානයට පාත්‍රවිය.

විසිර යාමේ පෙළපාලියෙන් පසුව තූර්ය වාදක සංදර්ශනයක් සහ කඹ ආධාරයෙන් පහළට බැසීමේ නිරූපණයක් ඉදිරිපත් කෙරිණ. පසුව, උත්සව අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නවතමයෙන් ඉදිකරන ලද තරුණ නිලධාරින්ගේ නිවස්නය සංකේතාත්මකව විවෘත කර අතර, උත්සවයේ කටයුතු අවසන් කරමින් කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී ප්‍රධාන ආරාධිතයා ඇතුළු සහභාගී වූ පිරිස වෙත සැඟවුණු වෙඩික්කරුවන්ගේ ඉලක්කගත කිරීම්, ජීව වෙඩි තැබීම, කමාන්ඩෝ භටයින්ගේ සැබෑ ආත්ම ආරක්‍ෂක සටන් ක්‍රම, ත්‍රස්තවාදී ග්‍රහණයට හසුවූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම, ත්‍රස්ත මර්ධන ක්‍රියාන්විත නිදසුන්, කමාන්ඩෝ සුනඛ (K9) සංදර්ශන සහ නිදහස් ආර පැරෂුට් සංදර්ශන ආදී අංග මඟින් කමාන්ඩෝ භටයින්ගේ ශක්තිය, හමුදා කුසලතා සහ සුවිශේෂී සටන් හැකියාවන් ප්‍රදර්ශනය කෙරිණි.

ඉන්පසු යුද්ධ හමුදාධිපතිතුමන් විසිර යනු ලැබූ කමාන්ඩෝ භටයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟින් අදහස් හුවමාරු කර ගත්හ. අනතුරුව, එතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.

මෙම විසිර යාමේ උත්සව අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ