එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 04 සාර්ථකව අවසන්

ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත ආරම්භ කරන ලද එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 04, 2025 අගෝස්තු මස 11 දින සිට 27 දින දක්වා ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වනු ලැබීය. මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය 2025 අගෝස්තු මස 27 දින පැවැත්විණි.

පාඨමාලාව සඳහා විදේශීය සහ දේශීය ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකු සහභාගි වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 3 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 3 දෙනෙකු සහ ඉන්දුනීසියාවේ සහ මොන්ගෝලියාවේ විදේශීය නිලධාරින් 3 දෙනෙකු ඇතුළත් විය.

මෙම පාඨමාලාවේ උපදේශණ කටයුතු ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භ සංවිධානයේ විශේෂඥයින් විසින් සිදුකරන ලදී. ඒ අනුව මෙම උපදේශන මඩුල්ලේ නායකත්වය සිංගප්පූරු ජාතික ඇලෙක්ස් ලී මහතා විසින් දැරූ අතර, නෝර්වේ ජාතික ස්ටයින් එලින්සන් සහ බ්‍රසීල ජාතික හාර්ලි ඇල්ව්ස් යන මහත්වරුන් එහි උපදේශකයින් ලෙස කටයුතු කළහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන USAWC psc විසින් පාඨමාලාව සඳහා සහභාගි වූ නිලධාරින් වෙත සහතිකපත් ප්‍රදානය කළ අතර, සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ වැඩබලන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ උපදේශකයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.