ඌව පළාතේ යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලමින් වෛද්‍ය කඳවුරක් පවත්වයි

රණවිරු සේවා අධිකාරිය සමඟ එ්කාබද්ධව රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් 2025 ජූලි මස 30 දින දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල් පරිශ්‍රයේදී රණක්‍ෂිතයට පත් සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීය. ඌව පළාතේ වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ජ්‍යෙෂ්ඨ නිලධාරිව රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී කොහොන (විශ්‍රාමික) සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc විසින් පිළිගන්නා ලදී.

මෙම වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ආබාධිත පුද්ගලයන් සඳහා වෛද්‍ය උපකරණ සංකේතාත්මකව බෙදාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා රණක්‍ෂිතයට පත් රණවිරුවන්, විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන්, නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු ප්‍රතිලාභින් 2,000 කට අධික පිරිසක් සහභාගි වූහ. එහිදී, වෛද්‍ය උපදේශන, කෘත්‍රිම අත් පා නඩත්තු කිරීම, චර්ම රෝග සහ දන්ත සායන, මානසික සෞඛ්‍ය උපදේශන සහ පෝෂණ මාර්ගෝපදේශ ආදී වෛද්‍ය සේවාවන් ප්‍රතිලාභින් හට හිමි විය.