17th July 2025
තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘Finger Swift 2025’ නව පරිගණක මෘදුකාංග යෙදවුම් එළිදැක්වීමේ උත්සවයක් 2025 ජූලි මස 16 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
නවීකරණය වන තාක්ෂණික ලෝකය තුළ යුද්ධ හමුදාවේ දෛනික කාර්යන් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් නවතමයෙන් නිර්මානය කරන ලද පරිගණක යෙදවුම් එලි දැක්වීමේ අරමුණින් මෙම උත්සවය පවත්වන ලදී.
මෙහිදී ප්‍රථමයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නවතමයෙන් නිර්මාණය කරන ලද සලාක ඉල්ලුම් කිරීමේ කළමනාකරණ පරිගණක යෙදවුම, වාර්ෂික රහස්‍ය වාර්තා කළමනාකරණ පරිගණක යෙදවුම සහ පදක්කම් ප්‍රදාන තොරතුරු කළමනාකරණ පරිගණක යෙදවුම එලිදැක්වීමෙන් පසු එම පරිගණක යෙදවුම් පිළිබඳ හැඳින්වීමේ වීඩියෝපටයක් ප්‍රදර්ශනය කරන ලදී.
අනතුරුව, 12 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් සයිබර් ක්ෂේත්රය තුළ ඇති විය හැකි තර්ජන පිළිබඳ හැඳින්වෙන සයිබර් ආරක්ෂණ නිරූපණයක් ද සිදුකරන ලදී.
පසුව, යුද සේවා ලේකම් ශාඛාවේ මෙන්ම පිරිස් පරිපාලන හා ආධුනිකයන් බඳවාගැනීමේ අධ්යක්ෂ මණ්ඩලයේ සහ සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු පහසු කිරීම සඳහා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය වෙතින් නිර්මාණය කරන ලද මෙම නව පරිගණක යෙදවුම් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම අධ්යක්ෂ මණ්ඩලවල අධ්යක්ෂවරුන් වෙත ඉදිරියේදී භාවිතයට ගැනීම සඳහා නිල වශයෙන් පවරා දෙන ලදී.අනතුරුව, නව යෙදවුම නිර්මාණය කිරීම සඳහා කැපවූ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සහතිකපත් ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ USP nps psc, තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් එස්.ජේ.කේ.ඩී. ජයවර්ධන USP nps psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.