යුද්ධ හමුදාධිපතිතුමන් නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 ජූලි මස 08 දින නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ RSP USP ndc psc හමුවිය.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසුව, නාවික හමුදාධිපතිතුමන් විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හඳුන්වාදෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් හා නාවික හමුදාධිපතිතුමන් අතර හමුදා සම්ප්‍රදායානුකූලව පැවති මෙම සුහඳ හමුවේදී, මෙහෙයුම් සහයෝගීතාව සහ ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ තීරණාත්මක දායකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකෙරිණි.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් අතර පවතින දිගුකාලීන බැඳීම් සහ සහයෝගීතාවය සංකේතවත් කරමින් මෙම සංචාරය සිදුකරනු ලැබූ අතර සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.

(ඡායාරූප සඳහා අනුග්‍රාහකත්වය: www.navy.lk)