ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවාචාරය

මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස ධූරයේ රාජකාරි බාරගැනීමෙන් පසු උපහාර දැක්වීමේ උත්සවයක් 2025 ජූලි මස 04 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නිලධාරිව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ප්‍රධාන දොරටුව අභියසදී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

පසුව නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහර දැක්විය. ඉන් අනතුරුව එම රෙජිමේන්තුවේ සියලු නිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

අනතුරුව, නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය අරමුණු සහ දැක්ම පැහැදිලි කළ අතර, මව්බිම තුළ තිරසාර සාමය ඇතිකිරීම සඳහා මව්බිම වෙනුවෙන් දිවිපිදූ, රණක්‍ෂිතයපත්, සේවයේ නියතු නිලධාරින් සහ සෙසුනිලයන් වෙත සිය ගෞරවය පුද කළේය.

උත්සවය අවසානයේදී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට එක්වූ අතර, මෙම අවස්ථාවට එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.