ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන සහ ඉංජිනේරු බලකායේ නව බලකාධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නියෝජනය කරනු ලබන 10 වන මාණ්ඩලික ප්‍රධාන වශයෙන් අභිනවයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc වෙත 2025 ජූලි මස 04 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර දැක්වීමේ උත්සවයක් පැවැත් විය. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සඳහා මහත් අඩම්බරයක් වූ මෙම අවස්ථාව සඳහා එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් බොහෝ දෙනෙකු සහභාගි විය.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි නව මාණ්ඩලික ප්‍රධාන සහ බලකාධිපති මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර්.එම් සුබසිංහ RSP විසින් ප්‍රධාන දොරටුව අභියසදී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව නව මාණ්ඩලික ප්‍රධාන මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහර දැක්විය. ඉන් අනතුරුව එම රෙජිමේන්තු සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් නව මාණ්ඩලික ප්‍රධාන වෙත පිරිනමන ලදී.

එම හමුදා සම්ප්‍රදායානුකූල උත්සව කටයුතුවලින් අනතුරුව, නව මාණ්ඩලික ප්‍රධාන සහ ඉංජිනේරු බලකායේ බලකාධිපති විසින් එම බලකායේ නිලධාරින් සහ සෙසු නිලයන් අමතමින් බලකාය තුළ ඒකමුතුභාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙන්ම බලකායේ මෙහෙයුම් හැකියාව සහ අනාගතය තවතවත් ශක්තිමත් කිරීම සඳහා තම අනාගත සැලසුම් සහ ඉලක්ක පැහැදිලි කරන ලදී. එම දේශණයේදී ප්‍රධාන වශයෙන් සියලුදෙනා එක්ව වැඩකිරීම තුළින් අඛණ්ඩ සංවර්ධනයක් ලබාගැනීම සඳහා කැපවිය යුතු බව නව මාණ්ඩලික ප්‍රධාන විසින් පෙන්වා දෙන ලදී.

අනතුරුව නව මාණ්ඩලික ප්‍රධාන වෙත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි නිවස්නයේදී තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. තේ පැන් සංග්‍රහයෙන් පසුව උත්සවයේ වැඩකටයුතු අවසන්කරමින් එම බලකායේ ඒකකයන් හි අණදෙන නිලධාරින් අමතමින් නව මාණ්ඩලික ප්‍රධාන විසින් නායකත්වය සහ අණදීමේ වගකීම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් සහ උපදෙස් ලබාදෙන ලදී.