විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු Hdmc Lsc AATO සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුලි මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 සැප්තැම්බර් මස 07 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු Hdmc Lsc AATO පාඨමාලා අංක - 02 යටතේ පකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1991 මාර්තු මස 13 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය වෙත අනුයුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඔක්තෝබර් මස 31 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජුලි මස 08 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති යන ධූරයන් හෙබවිය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු Hdmc Lsc AATO සිය යුද්ධ හමුදා දිවිය තුළදී, 6 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 1 කාර්ය සාධක බලකා මූලස්ථානයේ ඛණ්ඩභාර නිලධාරි සහ අභ්‍යන්තර ආරක්‍ෂක ඛණ්ඩභාර නිලධාරි, පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරි උපදේශක, සටන් පුහුණු පාසලෙහි පුහුණු අංශ භාර මූලස්ථානයේ ඛණ්ඩභාර නිලධාරි, අනුරාධපුර 2 වන යුධෝපකරණ සේනාංකයේ කණ්ඩායම් භාර නිලධාරි, වැලිඔය ඉදිරි යුධෝපකරණ ගබඩාවේ නිලධාරී අණදෙන, එවකට යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්ව සිටි මේජර් ජෙනරල් ටී සිවෂන්මුගම් USP ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ අධි සහායක, යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 3, කමාන්ඩෝ බලසේනා මූලස්ථානයේ කාර්යයේ නියුක්ත මේජර් (පාලන සහ භටකාර්ය සම්පාදන), ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මාණ්ඩලික නිලධාරි 2 (භටකාර්ය සම්පාදක), යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 2 (වරාය අංශය), යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 2 (දේශීය මිලදී ගැනීම්), දියතලාව ඉදිරි යුධෝපකරණ ගබඩාවේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මාණ්ඩලික නිලධාරි 2 (භටකාර්ය සම්පාදක), 515 පාබල බලසේනා මූලස්ථානයේ මේජර් (පාලන සහ භටකාර්ය සම්පාදන), යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), ශ්‍රී ලංකා හමුදා යුධෝපකරණ බලකා පුහුණු පාසලේ සේනාවිධායක, 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ උපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1 (සැපයුම් සහ ප්‍රසම්පාදන), මධ්‍යම අවි සහ පතොරම් ගබඩාවේ නියෝජ්‍ය සේනාවිධායක, 59 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදක), යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (භඨකාර්ය සම්පාදන), යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ කර්නල් (යුධෝපකරණ), ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි කර්නල් (පාලන සහ භටකාර්ය සම්පාදන)යුද්ධ හමුදා භටකාර්ය සම්පාදක පුහුණු පාසලේ සේනාවිධායක, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති, භඨකාර්ය සම්පාදන ආඥාපති - යාපනය සහ භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති වැනි ධූරයන් හොබවන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවය අගයමින් උත්තම සේවා පදක්කම (USP) පිරිනමන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තම යුද්ධ හමුදා සේවාකාලය තුළදී නිලධාරි විශිෂ්ටතා පාඨමාලාව, පරිගණක පාඨමාලාව, ගබඩා කළමනාකරණ සහ මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටි පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක පූර්ව ස්ථානගත කිරීමේ පුහුණු පාඨමාලාව ඇතුළු දේශීය පුහුණු පාඨමාලා රැසක් සාර්ථකව හදාරන ලදී.

එමෙන්ම මූලික යුධෝපකරණ නිලධාරි පාඨමාලාව බංග්ලාදේශය, භටකාර්ය සම්පාදන මාණ්ලික පාඨමාලාව - පාකිස්තානය, සැපයුම්, ද්‍රව්‍ය, මූල්‍ය සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පාඨමාලාව - පාකිස්තානය, ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ උසස් පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ කළමනාකරණය පිළිබඳ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ භඨකාර්ය සම්පාදන නිලධාරි පාඨමාලාව බංග්ලාදේශය සහ උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව ඉන්දියාව ඇතුළු විදේශීය පුහුණු පාඨමාලා කිහිපයක් ද හදාරා ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ සහතිකපත් පාඨමාලාව, ශ්‍රී ලංකාවේ ඇක්වයිනාස් විද්‍යාපීඨයේ හෝටල් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ ඉන්දියාවේ ඔස්මානියා විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇතුළු දේශිය මෙන්ම විදේශීය අධ්‍යාපනික සුදුසුකම් රැසක් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය සේවාකාලය තුළදී ලබාගන්නා ලදී.

2023 වර්ෂයේ දී කුඩා අවි පතොරම් නිෂ්පාදන සැලැස්ම ස්ථාපිත කිරීම සඳහා යුද්ධ හමුදා නිලධාරින් විසින් සිදුකරනු ලැබූ ඉන්දියානු සංචාරය අතුළු ජාත්‍යන්තර සංසදවලට ද තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය යුද්ධ හමුදා සේවාකාලය තුළදී සහභාගි විය.