ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධාන ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන 67 වන මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc 2025 ජුනි මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ, මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ පැවති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක වැනි ප්‍රධාන ධූරයෙන් හෙබවූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි අත්දැකීම් සම්භාරයකින් සහ උපායමාර්ගික තීක්‍ෂණ බුද්ධියකින් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

මෙම ධූරයන් හොබවමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය නායකත්වය තුළින් ක්‍රියාන්විතයන් පිළිබඳ දැනුම සහ වෘත්තීය විශිෂ්ඨත්වය පිළිබඳව පෙන්වා දී ඇත.

ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත සිය සුබපැතුම් පිරිනැමූහ.