යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, 2025 ජනවාරි මස 14 දින මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී එතුමන් එම රෝහලේ මෙහෙයුම් අංශ පිළිබඳව සහ එහි වත්මන් කටයුතු පිළිබඳව දැනුවත් විය.

රෝහල් පරිශ්‍රයට සපැමිණි හමුදාධිපතිතුමන් එම රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් නව රෝහල් සංකීර්ණයේ නිරීක්‍ෂණ කටයුතු සිදුකරමින් මෙහෙයුම් අංශ පරීක්‍ෂා කර එහි නඩත්තු කටයුතු සිදුකිරීම පිළිබඳව සොයා බැලීය.

මෙම රෝහල මගින් බාහිර රෝගී සත්කාර පහසුකම්, ආබාධිත පුද්ගලයින් සඳහා කෘතිම හා විකලාංග සේවා, විවිධ රෝග සඳහා සායනික සේවා, දන්ත සත්කාර සේවා, නවීන වෛද්‍ය උපකරණ සහිත අංග සම්පූර්ණ ශල්‍යාගාර සේවා සහ ඖෂධ පහසුකම් ඇතුළු සේවාවන් රැසක් සපයයි. මෙම සේවාවන් යුද්ධ හමුදා සාමාජිකයන්ට, සේවා මුක්ත සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සපයයි.

මෙම සංචාරය සඳහා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.