යුද්ධ හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ගංජා තොගයක් අත්අඩංගුවට ගනියි

යුද්ධ හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව 2025 ජුනි මස 15 දින උදෑසන වෙල්වැටිතුරෙයි, පෝලිකන්ඩි වෙරළ තීරයේදී සිදුකළ මෙහෙයුමක් අතරතුරදී රුපියල් ලක්‍ෂ 400 ක පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.

බෝට්ටුවක් මඟින් කේරළ ගංජා තොගයක් නීති විරෝධී ලෙස මෙරටට මුහුදු මාර්ග ඔස්සේ ගෙනැවිත් තිබුණු අතර, යුද්ධ හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම අතරතුරදී පාර්සල් 98 ක සඟවා තිබූ මෙම කේරළ ගංජා කිලෝග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් සොයාගන්නා ලදී.

ආරක්‍ෂක අංශයන් කඩිනමින් ක්‍රියාත්මක වීම තුළින් එම කේරළ ගංජා තොගය ජාවාරම්කරුවන්ට රට තුළ බෙදාහැරීමට නොහැකි වූ අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ බෝට්ටුව වැඩිදුර විමර්ශන කටයුතු සහ නීතිමය කටයුතු සඳහා වෙල්වැටිතුරෙයි පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.