යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගනිමින් ආශිර්වාද ලබාගනි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 පෙබරවාරි මස 05 දින ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය වැඳපුදාගනිමින් ආශිර්වාද ලබාගත්හ.

එහිදී, එම විහාරස්ථාන වැඳපුදාගැනීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක සහ අටමස්ථානාධිපති සාහිත්‍යශූරී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන්, උතුරු සහ උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය නුගේතැන්න පඥ්ඥානන්ද නායක හිමිපාණන් සහ රුවන්වැලි මහා සෑය විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ඊතළවැටුනුවැවේ ඥාණතිලක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන පුදබිම් තුළ පූජාවන් පැවැත්වූ අතර එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් අනුශාසනාවන් ද පැවැත්වූහ.

මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර පදවි එඩේරාණන් වන අති උතුම් දේව ධර්මාචාර්යය නෝබට් එම් අන්ද්‍රාදි රදගුරුතුමන් හමුවී ආශිර්වාද ලබාගත්තේය. මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.