61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ගාල්ල ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කරයි

ර‍ජය විසින් ආරම්භකරන ලද, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ බෙන්තොට සිට ගොවියාපාන ප්‍රදේශය දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 12 දින ගාල්ලේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වූ අතර, අනතුරුව, සහභාගී වූ සම්භාවනීය අමුත්තන්ගේ දේශනයක් පැවැත් විය. එහිදී, පරිසරය ආරක්‍ෂා කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ වැදගත්කම සහ වටිනාකම ඔවුන් අවධාරණය කළේය.

61 පාබල සේනාංකයේ භටපිරිස් බෙන්තොට, හික්කඩුව, අම්බලන්ගොඩ, දෙවට වෙරළ තීරය, හික්කඩුව සංචාරක මධ්‍යස්ථානය අසල, කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයේ ප්‍රදේශයන්, පොදු සුසාන භූමි සහ අනෙකුත් ප්‍රධාන සංචාරක ගමනාන්ත ඇතුළු විවිධ ස්ථානයන් පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූහ.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ඊ.එන්.එච්. ජගත් සේරම් මහතා ඇතුළු රජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.