ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් වන අලින්ගෙන් සිදුවන හානි වැළැක්වීම සඳහා මෙහෙයුමක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.ආර් කුමාර යූඑස්පී අයිඑස්සී ගේ උපදෙස් මත 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පිඹුරත්තෑව අඩවි වන නිලධාරි කාර්යාලයේ නිලධාරින් සහ ‍ මහවැලි කාර්යාලයේ නිලධාරින් සමඟ එක්ව 2025 පෙබරවාරි මස 01 දින වන අලින් පලවා හැරීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. එහිදී, වන අලින් 21 දෙනෙකු වීරලන්ද වැවෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානය වෙත පලවා හරින ලදී.

මෙම මෙහෙයුම ගලේලිය, වරාපිටිය, වෙහෙරගල සහ කජුවත්ත යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ ඇතුළුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ වන අලින්ගේ බලපෑමට ලක් වූ කුඹුරු අක්කර 800 ක පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි සිදුකරනු ලැබීය. අලි-මිනිස් ගැටුම හැකිතාක් අවම කිරීමට සහ කෘෂිකාර්මික ඉඩම් ආරක්‍ෂා කිරීම සඳහා මෙම වන අලින් ජාතික වනෝද්‍යානය වෙත ආරක්‍ෂිතව පලවා හරිනු ලැබීය.

මෙම මෙහෙයුම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වූහ.