15th February 2025
54 පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් කේ.පී.එම්.එන් ගුණසේකර, රුපියල් 102,220.00 ක් සහ වැදගත් ලියකියවිලි අඩංගු මුදල් පසුම්බියක් වැටී තිබියදී හමුවීමෙන් පසු එහි අයිතිකරු වෙත ලබා දීමේ ආදර්ශමත් ක්‍රියාවක් සිදුකරනු ලැබීය.
2025 පෙබරවාරි මස 11 වන දින, මන්නාරම නගරයේ බැංකුවක සිටියදී, කෝප්‍රල් කේ.පී.එම්.එන් ගුණසේකර එම අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා ගනු ලැබීය. අනතුරුව ඇය එම මුදල් පසුම්බිය මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දෙනු ලැබූ අතර, පොලිස් ස්ථානය විසින් එම මුදල් පසුම්බිය එහි හිමිකාරිය වන සුන්දරරාසා මේරි සුදර්ශනී මහත්මිය වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කරමින් ඇය විසින් සිදුකරනු ලැබූ මෙම ආදර්ශමත් ක්‍රියාව 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ඇගයීමට ලක්කල අතර, මන්නාරම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ද ඇයගේ මෙම ආදර්ශමත් ක්‍රියාව අගයමින් ඇගයීමේ ලිපියක් ප්‍රදානය කළේය.