විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මැයි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1991 ජනවාරි මස 02 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 35 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1992 අගෝස්තු මස 29 දින විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජුනි මස 05 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

2025 ජුනි මස 07 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය හමුදා දිවිය තුළදී, 1 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි සහ නිලධාරි අණදෙන, යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියා), 1 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරි, 533 පාබල බලසේනාවේ බලසේනා මේජර් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි II, 7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක සහ වැඩබලන කර්නල් (හමුදාධිපති ලේකම්), යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 (සන්ධාන) සහ මාණ්ඩලික නිලධාරි I (2/3 අංශය) වැනි ප්‍රධාන ධූරයන් රැසක් හෙබවිය.

එමෙන්ම, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) මාණ්ඩලික නිලධාරි, ඒකක අණදෙන්නන්ගේ පාඨමාලා අංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, 581 පාබල බලසේනාවේ බලසේනාධිපති, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති යන ධූරයන් ද එතුමන් විසින් හොබවන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් රණ වික්‍රම පදක්කමෙන් (තෙවරක්) සහ රණශූර පදක්කමෙන් (තෙවරක්) පිදුම් ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තම යුද්ධ හමුදා දිවිය තුළදී ප්‍රහාරක පුරෝගාමී පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, ඒකක ගිණුම් තැබීමේ නිලධාරි පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, තරුණ නිලධාරි පාඨමාලාව, ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, ආරක්‍ෂක සේවා මාණ්ඩලික පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව, ආරක්‍ෂක අංශ ප්‍රතිසංස්කරණ පාඨමාලාව - බංගලාදේශය සහ විදේශ උපදේශක පාඨමාලාව - එක්සත් රාජධානිය වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හදාරන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කැලණිය විශ්වවිද්‍යාලය තුළින් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබාගෙන ඇත.