හමුදා ක්‍රීඩා විශිෂ්ඨත්වය වෙනුවෙන් යුද්ධ හමුදා නිලධාරියෙකු වෙත ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ නයිට් පදවිය පිරිනමයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහසභා රැස්වීම සහ සම්මේලනය 2025 මැයි මස 17 සිට 25 දින දක්වා කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම උත්සවයේ කැපීපෙනෙන සිදුවීමක් වශයෙන් හමුදා ක්‍රීඩා සහ ජාත්‍යන්තර සහයෝගීතාවයට දායක වූ කීර්තිමත් හමුදා සාමාජිකයන් නව දෙනෙකු වෙත ගෞරව පදක්කම් සහ ‘නයිට්’ යන ගෞරව නාමය ප්‍රදානය කෙරිණි.

එහිදී, ටයිකොන්ඩෝ ක්‍රීඩාව තුළින් ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ සහ එම ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් දැක්වූ කැපවීම ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් නලින්ද රත්නායක නිලධාරි වෙත නයිට් පදවිය පිරිනැමූ අතර එම පදවිය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වශයෙන් එම නිලධාරි ඉතිහාසයට එක් විය. බ්‍රසීලයේ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ මූලස්ථානය වෙතින් එම නිලධාරිගේ නම මෙම පදවිය සඳහා නිර්දේශ කරන ලදී.

මේජර් නලින්ද රත්නායක මීට ප්‍රථම 2021 වර්ෂයේදී දකුණු කොරියාවේ පැවති ලෝක ‘ටයිකොන්ඩෝ මාස්ටර්ස්’ වැඩසටහනේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 6 වන ඩෑන් කළු පටිය ලබාගත් ප්‍රථම යුද්ධ හමුදා ටයිකොන්ඩෝ උපදේශකයා විය. වර්ෂ 2022 සිට එම නිලධාරි ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයෙහි ලෝක හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර, එම ධූර කාලය 2026 වර්ෂය දක්වා දීර්ඝ කර ඇත.