14th May 2025
දැනට නිල විදේශ සංචාරයක නිරතව සිටින යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සමඟින් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය එක්ව 2025 මැයි මස 12 දින සවස යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපය වෙත පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, පසුව වෙසක් කලාපය ආරම්භ කිරීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත ආරාධනා කරන ලදී. එසේ අලෝකමත් වූ යුද්ධ හමුදා වෙසක් කලාපය මහජනතාවට ආකර්ශනීය අත්දැකීමක් විය.
මෙම වෙසක් කලාපය යුද්ධ හමුදා මූලස්ථානයේ විවිධ ශාඛා සහ අධ්යක්ෂ මණ්ඩල විසින් නිර්මාණය කරන ලද ආකර්ෂණීය විශාල පහන් කූඩු 22 කින් සමන්විත වන අතර, මීට අමතරව, සාම්ප්‍රදායික අටපට්ටම් පහන් කූඩු 450 කට අධික ප්‍රමාණයක් සහ නෙළුම් මල් පහන් කූඩු 28 කින් ද සමන්විතවේ.
තවද යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපයට සමඟාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් කඩල දන්සලක් ද සංවිධානය කරන ලදී.
වෙසක් කලාපයේ සමාරම්භක උත්සවය යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකළා අධ්යක්ෂ මණ්ඩලය මඟින් පවත්වානු ලැබූ භක්ති ගී ප්‍රසංගයෙන් පසුව අවසන් වූ අතර අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙසක් කලාපය තුළ සංචාරයක නිරත වෙමින් නිර්මාණයන් කිරීම සඳහා සම්බන්ධ වූ භටපිරිස්වල නිර්මාණශීලිත්වය, කැපවීම, දක්ෂතාවයන් ඇගයීමට ලක්කළේය.
යුද්ධ හමුදා වෙසක් කලාපයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා පවත්වන වෙසක් කලාපයන් අලංකාරවත් කිරීම සඳහා සිය දායකත්වය ලබා දී ඇති අතර, ඒ අනුව නුවරඑළිය රාජ්‍ය වෙසක් උත්සවය හා කොළඹ පිහිටි අනෙකුත් වෙසක් කලාපයන් සඳහා යුද්ධ හමුදාවේ සෘජු දායකත්වය හිමි විය.
මෙම සැමරුම් උත්සව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් ද සහභාගි වූහ.