ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් බර්ලින් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සාමසාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වෙයි

ජර්මනියේ බර්ලින් නුවර 2025 මැයි මස 13 දින සිට 14 දින දක්වා පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වූහ.

සිව් දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc, නිව්යෝර්ක්හි හමුදා උපදේශක බ්‍රිගේඩියර් එස් වික්‍රමසේකර සහ පොලිස් අධිකාරි ආර්.එම් විමලරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළත් විය.

එහිදී, නියෝජිත පිරිස විසින් ගෝලීය සාමය සහ ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන කැපවීම සහ දායකත්වය පෙන්වා දෙමින්, මෙරට හමුදාවන් විශාල ප්‍රමාණයක් සාමසාධක මෙහෙයුම් වල යෙදවීම සඳහා අවශ්‍ය විශ්වාසදායක මානව හිමිකම් පිළිබඳව සොයා බැලීමේ යාන්ත්‍රණයක් සිදුකරන ලෙස යෝජනා කරන ලදී. සැසිය අමතමින් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා වඩාත් අර්ථවත් ලෙස දායක වීමට ශ්‍රී ලංකාවේ සූදානම නැවත තහවුරු කළ අතර, ශ්‍රී ලංකාව විශ්වාසදායක සහ දක්‍ෂ හවුල්කරුවෙකු ලෙස පිළිගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

මෙම රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානගේ ප්‍රධානත්වයෙන් ජර්මනිය, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, චෙක් ජනරජය සහ ලයිබීරියාව යන රටවල ඉහළ මට්ටමේ රජ්‍ය තාන්ත්‍රිකයින් සහ හමුදා නියෝජිතයින් සමඟින් ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් ද පැවැත්වීය. මෙම සාකච්ඡාවන්හිදී ප්‍රධාන වශයෙන් විනිවිදභාවය, අනුවර්තනය වීමේ හැකියාව සහ වගවීම වැනි ඉහල ප්‍රමිතීන් සහිතව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා විශේෂයෙන් සංග්‍රාමික ඉංජිනේරු විද්‍යාව, ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාව, හමුදා ආරක්‍ෂාව, තාක්‍ෂණික සහයෝගීතාවය සහ සාමසාධක මෙහෙයුම් සඳහා කාන්තා භටපිරිස්හි සහභාගීත්වය වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කරනු ලැබීය.

සාමසාධක රාජකාරීන්ට අමතරව, සංචාරක, කර්මාන්ත, වෘත්තීය පුහුණුව සහ විදේශ රැකියා වැනි ප්‍රධාන අංශයන්හි හවුල්කාරිත්වයන් වැඩිදියුණු කිරීමේ පිළිබඳව ද සාකච්ඡා කළ අතර, එමගින් මෙරට තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ පුළුල් විදේශ ප්‍රතිපත්ති ඉලක්ක පිළිබිඹු කරයි.

මෙම ගෝලීය සංවාදයට ක්‍රියාකාරීව දායක වීම මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාමසාධක කටයුතුවල සිය භූමිකාව ඉහළ නැංවීම, සාමසාධක භටපිරිස් යෙදවීම වැඩිදියුණු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සේවය කරන තම හමුදාවන්හි විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීම අරමුණ විය.