20th May 2025
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහසභා රැස්වීම සහ සම්මේලනය මැයි මස 19 දින කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම සමාරම්භක අවස්ථාවට මෙරට ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩල නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහභාගි වූහ.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයින් සහ විවිධ රටවල හමුදාවන්හි ක්‍රීඩා කණ්ඩායම්වල නායකයින් එක්ව හමුදා සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතාවන් ඉහළ නැංවීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු බොහොමයක් සාකච්ඡා කිරීම සඳහා මෙහිදී අවස්ථාව සැලසේ. විශ්වීය භාෂාවක් වන ක්‍රීඩාව ඔස්සේ සන්නද්ධ හමුදා අතර පවතින ජාත්‍යන්තර සහයෝගීතාව, එකමුතුකම සහ සහෝදරත්වය ඉහළ නැංවීම සඳහා මෙම සම්මේලනය ප්‍රධාන වේදිකාවක් සපයනු ලබයි.
සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) විසින් ජාතීන් අතර වෘත්තීමයභාවය, එකමුතුකම සහ අන්‍යෝන්‍ය ගෞරවය ප්‍රවර්ධනය කිරීමේදී හමුදා අතර පැවැත්වෙන ක්‍රීඩා තරඟ හා පුහුණු ක්‍රියාකාරකම් වල කාර්යභාරය පිළිබඳව අවධාරණය කළේය. තවද, ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ මහසභා රැස්වීම සහ සම්මේලනය වැනි උසස් මට්ටමේ ජාත්‍යන්තර සමුළුවක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කරමින් ක්‍රීඩාවන් හරහා ගෝලීය සාමය සහ හමුදාමය රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කිරීමට ද මෙම සම්මේලනය වැදගත් වන බව පෙන්වා දුන්නේය.
සතියක කාලසීමාවක් පුරාවට පැවැත්වීමට නියමිත මෙවර සමුළුව, රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් ගොඩනැගීමේදී ක්‍රීඩාවේ කාර්යභාරය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් සාකච්ඡා මාලාවක්, උපායමාර්ගික සැලසුම් පිළිබඳ සැසිවාරයන් සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් වලින් සමන්විත වේ. එහිදී, සාකච්ඡා කෙරෙන ප්‍රධාන තේමාවන් අතරට හමුදා අංශයන්හි ක්‍රීඩා නවීකරණය, නව ක්‍රීඩා අංග ඇතුළත් කිරීම සහ සන්නද්ධ හමුදා සේවා සාමාජිකයන් අතර ශාරීරික හා මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වශයෙන් ඇතුලත් වේ.
වර්ෂ 1948 දී ආරම්භ කරන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය, මේ වනවිට සාමාජික රටවල් 140 කට අධික සංඛ්‍යාවක් සිටින ලොව විශාලතම බහුවිධ ක්‍රීඩා සංවිධානයකි. ක්‍රීඩා තරඟ සහ සහයෝගීතා මුලපිරීම් හරහා ලෝකයේ රටවල සන්නද්ධ හමුදාවන් අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම එම කවුන්සිලයේ ප්‍රධානතම අරමුණ වේ.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහසභා රැස්වීම සහ සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් ජාත්‍යන්තර හමුදා සංවිධාන සමඟ ඇති ජාත්‍යන්තර සබඳතාවයන්හි වැදගත් සංධිස්ථානයන් සනිටුහන් කරන අතර ගෝලීය වශයෙන් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය ඒ තුළින් ඉස්මතු කරයි.
(මූලාශ්‍රය: ආරක්ෂක අමාත්‍යාංශය)