යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 මැයි මස 20 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ සංචාරයක නිරතවිය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද්ධ හමුදා දන්ත සේවා අධ්‍යක්‍ෂ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

සංචාරයේ නිරත නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සෙසුනිල නවාතැන් පහසුකම් සංකීර්ණ, භෝජනාගාර සහ ආපනශාලා නිරීක්‍ෂණය කරනු ලැබීය. සනීපාරක්‍ෂක පහසුකම් ඇතුළු අනෙකුත් ස්ථානයන් පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ එතුමන් එම රෝහලේ මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා රෝහල් බලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.

ඉන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රෝහලේ ලේඛන අංශය, බාහිර රෝගී අංශය සහ ඖෂධාගාරය ඇතුළු ප්‍රධාන අංශයන් ද නිරීක්‍ෂණය කළේය. එම සෑම ස්ථානයකදීම, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තවදුරටත් අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස ද අදාළ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් සුහඳ තේ පැන් සංග්‍රහයක් පැවති අතර, මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.