‘Land Forces Pacific Symposium & Exposition 2025’ හි සම්භාවනීය ආරාධිත අමුත්තෙකු ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වෙයි

2025 මැයි මස 13 සිට 15 දින දක්වා හවායි, හොනොලුලු හිදී පැවති ‘Land Forces Pacific Symposium & Exposition 2025’ හි සම්භාවනීය ආරාධිත අමුත්තෙකු වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය. එක්සත් ජනපද යුද්ධ හමුදා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන තුළින් ඉන්දු - පැසිෆික් කලාපය තුළ හමුදාවන්ගේ කාර්යභාරය මෙන්ම සාමය හා ගැටුම් කාලපරිච්ඡේදයන් වලදී ඒකාබද්ධව ලබාදෙනු ලබන දායකත්වය ඉස්මතු කර පෙන්වනු ලබයි.

මෙම වසරේ ‘Land Forces Pacific Symposium & Exposition 2025’ සම්මන්ත්‍රණය සඳහා ලොව පුරා සිටින රාජ්‍ය නිලධාරින්, ආරක්‍ෂක ප්‍රභූවරුන් සහ හමුදාධිපතිවරුන් ඇතුළු දෙදහසකට අධික පිරිසක් සහභාගි වූහ. මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ ලෝක මට්ටමේ කථිකයින් විසින් ඉන්දු - පැසිපික් කලාපයේ යුදමය වාතාවරණය පිළිබඳව අවධානය යොමුකරමින් සාකච්ඡා පැවැත්වූහ.

සම්මන්ත්‍රණය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවන් කිහිපයක් පවත්වමින් කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරනු ලැබීය. එහිදී, ඉන්දු - පැසිෆික් කලාපයේ ජාතීන් අතර උපායමාර්ගික හවුල්කාරිත්වය සහ අන්තර් සහයෝගීතාවය ගොඩනැඟීමේ ඇති වැදගත්කම පිළිබඳව ද අවධාරණය කෙරිණි.