යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් දිවයින පුරා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කාර්ය සාධක බලකාය ඒකාබද්ධව 2025 ජූලි මස 29 දින ‘යුද්ධ හමුදාව සමඟ පිවිතුරු පරිසරයක් - ජාතිය උදෙසා පිවිතුරු වෙරළක්’ යන තේමාව ඔස්සේ දිවයින පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. මට්ටක්කුලිය, කාකදූව දූපතේ වෙරළ තීරයේ පැවති මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් නාවික හා ගුවන් හමුදාවන්, පරිසර අමාත්‍යාංශය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා හා සිවිල් සංවිධාන, පාරිසරික කණ්ඩායම් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර පරිසර හිතකාමී පිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන යටතේ දිවයින පුරා වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව, වේල්ලාම්කුලම් සිට චුන්ඩිකුලම් දක්වා වෙරළ තීරය ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, මරිද්දුකොඩෙයි සිට වෙල්ලාම්කුලම් දක්වා සහ චුන්ඩිකුලම් සිට කෝකිලායි දක්වා වෙරළ තීරය ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, කෝකිලායි සිට කුමන දක්වා වෙරළ තීරය ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, කුමන සිට කුඩාවැල්ල දක්වා වෙරළ තීරය ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ කුඩාවැල්ල සිට මරිද්දුකොඩෙයි දක්වා වෙරළ තීරය ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් පිරිසිදු කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම