යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දළඳා පෙරහැර සඳහා යුද්ධ හමුදාව ‘කොප්පරා’ පූජා කරයි

ඉපැරණි සම්ප්‍රදායන් අනුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව මගින් වාර්ෂිකව පවත්වන ඓතිහාසික ඇසළ මහ පෙරහැර මංගල්‍යය ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව වෙත යුද්ධ හමුදාව විසින් අඛන්ඩව 12 වන වරටත් කොප්පරා ටොන් 06 ක ප්‍රමාණයක් 2025 ජූලි මස 17 දින පූජා කරන ලදී.

මෙම කොප්පරා පූජා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, සහභාගී විය. විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම කොප්පරා පූජාව මඟින් ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා කිරීම සඳහා යුද්ධ හමුදාවේ කැපවීම ඉස්මතු කරනු ලබයි.

එම පූජනීය පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම් අනුර බණ්ඩාර මහතා හමුවී ආගමික වතාවත්වල නිරත විය.

බෞද්ධ කොඩි සහ නෙළුම් මල් වට්ටි රැගත් යුද්ධ හමුදා භටපිරිස්හි සහභාගීත්වයෙන් සැදුම්ලත් අලංකාරවත් වූ පෙරහැරකින් එම කොප්පරා ප්‍රමාණය ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය වෙත රැගෙන යාමෙන් අනතුරුව යුද්ධ හමුදාව විසින් අකණ්ඩව 12 වෙනි වරටත් වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යයන් සඳහා ලබාදෙනු ලබන එම කොප්පරා මාලිගාවේ අභ්‍යන්තර කුටියේදී චාරිත්‍රානුකූලව භාරදීම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.