යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉන්දියානු නිල සංචාරය සාර්ථකව අවසන්

ඉන්දියානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ඉන්දීයාවේ නිල සංචාරයක නිරත විය.

එම සංචාරයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දියානු ආරක්‍ෂක ලේකම් රාජේෂ් සිං, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධාන අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපාති, එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං, යුද්ධ හමුදා මාණ්ඩලික උප ප්‍රධාන ලුතිනන් ජෙනරල් රාජා සුබ්‍රමනියම් සහ නිරිතදිග ප්‍රදේශ අණදෙන ප්‍රධානී ලුතිනන් ජෙනරල් මන්ජින්දර් සිං ඇතුළු ඉන්දීය ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වමින් ද්විපාර්ශ්වීය සහ කලාපීය ආරක්‍ෂක සහයෝගීතාව, උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ දෙරටෙහි සන්නද්ධ හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදී.

මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් ඩෙහ්රාඩුන් පිහිටි ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 2025 ජුනි මස 14 දින පැවති කෙඩෙට් නිලධාරින්ගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

1990 වසරේදී ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මූලික පුහුණුව හදාරා අධිකාරියට පත් වූ ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදාධිපතිතුමන්ට මෙම උත්සවය විශේෂ වැදගත් අවස්ථාවක් වූ අතර, එහිදී එම උත්සවයට සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ වත්මන් සේනාවිධායක ලුතිනන් ජෙනරල් නාගේන්ද්‍ර සිං විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් දෙරට අතර යුද්ධ හමුදා පුහුණු පාඨමාලාවන් පැවැත්වීම සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ඉන්දීය යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති ලුතිනන් ජෙනරල් දේවේන්ද්‍ර ෂර්මා සමඟින් සාකච්ඡාවන් පැවැත්වූහ.

දෙරට අතර පවතින හමුදා සම්ප්‍රදායන් සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබිඹු කරමින්, නවදිල්ලි නුවර පිහිටි ජාතික යුද ස්මාරකය අභියසදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් දිවංගත ඉන්දීය වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක සබඳතා වැඩිදියුණු කිරීමට සහ කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරමින් මෙම නිල සංචාරය සිදුකෙරිණි.

එම සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස් මැදගොඩ RSP USP ndc psc IG ද මෙම සංචාරයට එක්වූයේය.