යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තශාලාවේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, 2026 මැයි මස 13 දින යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තශාලාවේ නිල සංචාරයක නිරත විය.

කර්මාන්තශාලා පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුර මුරය පසුකරයාමේ ගෞරවාචාර පිරිනැමූ අතර, පසුව යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තශාලාවේ සේනාවිධායක විසින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

වැඩසටහනේ කටයුතු ආරම්භ කරමින් යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තශාලාවේ සේනාවිධායක විසින් මෙම ආයතනයේ තාක්ෂණික හැකියාවන්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති සහ යුද්ධ හමුදාවේ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහා ලබාගෙන ඇති සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ කරුණු පැහැදිලි කෙරිණි. එමෙන්ම, අනාගත මෙහෙයුම් අවශ්‍යතාවලට සහාය වීම සඳහා යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් මගපෙන්වීම් සහ උපදෙස් ලබා දෙන ලදී.

ඉන් අනතුරුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන නිෂ්පාදන පරිශ්‍රයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් යුද්ධ හමුදාවේ මෙහෙයුම් හැකියාවන් ඉහළ නැංවීම සඳහා යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් දක්වනු ලබන කැපවීම, වෘත්තීය නිපුණත්වය සහ තාක්ෂණික දැනුම පිළිබඳව ඇගයීමට ලක් කළේය.

සංචාරයේ කටයුතු අවසන් කරමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සමරු සටහනක් තැබීය.