5th July 2025
වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP nps psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුලි මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP nps psc 1990 නොවැම්බර් මස 03 දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 08 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායට කෙඩෙට් නිලධාරියෙකු ලෙස බඳවා ගන්නා ලද අතර, රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 නොවැම්බර් මස 14 දින ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජුලි මස 06 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට යුද්ධ හමුදා යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක යන ධූරයන් හෙබවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කීර්තිමත් වෘත්තීය දිවිය තුළදී 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ ඛණ්ඩ භාර නිලධාරි සහ නිලධාරි අණදෙන, දිවංගත මේජර් ජෙනරාල් පී.එස්.බී කුලතුංග RSP USP USAWC ගේ අධිසහයක, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ ඛණ්ඩ භාර නිලධාරි සහ මාණ්ඩලික නිලධාරි II (පුහුණු අංශය), 6 බලඇණිය ගැමුණු හේවා බළකායේ මෙහෙයුම් සහ පුහුණු නිලධාරි, 214 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනා මේජර්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි අංශයේ නිලධාරි අණදෙන සහ විධායක අධිකාරි, හයිටි එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි, යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1, 8 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරි යන ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.
තවද, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් ප්‍රධාන මාණ්ඩලික සහ 573 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන පීඨයේ පීඨාධිපති, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධිත මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් 2, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක වැනි තනතුරු හොබවන ලදී.
මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ සූර පදක්කමෙන් සහ සිදුකළ උත්තරීතර සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය වෘත්තීය දිවිය තුළදී, ඛණ්ඩ භාර නිලධාරි අණදෙන - පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පුහුණු පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරින්ගේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, ඛණ්ඩ අවි නිලධාරි පාඨමාලාව ඉන්දියාව, තරුණ නිලධාරි පාඨමාලාව ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂක පාඨමාලාව මැලේසියාව ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රැසක් සාර්ථකව හදාරන ලදී.
එමෙන්ම, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ මොන්ටෙරේ හි නාවික පශ්චාත් උපාධි පාසලේ ආරක්‍ෂක විශ්ලේෂණ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, කැලණිය විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ ආරක්‍ෂක අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ සහතිකපත්‍ර පාඨමාලාව සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික ආරක්‍ෂාව සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ ආරක්‍ෂක මාධ්‍ය සහ සන්නිවේදනය පිළිබඳ කෙටි කාලීන පාඨමාලාව ද හදාරන ලදී.