විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර RWP USP ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 33 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 55 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර RWP USP සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුලි මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1991 නොවැම්බර් මස 17 දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 09 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර RWP USP රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1993 නොවැම්බර් මස 22 දින ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි.

යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජූලි මස 12 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 55 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ධූරය හෙබවිය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර RWP USP විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, බුද්ධි නිලධාරි, විධායක අධිකාරි, වැඩබලන දෙවන අණදෙන නිලධාරි, කාර්යයේ නියුතු අණදෙන නිලධාරි, 112 පාබල බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියා), 572 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනා මේජර් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකරණ කාර්යාලයේ දෙවන අණදෙන නිලධාරි යන ප්‍රධාන ධූරයන් හොබවන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මූලස්ථානයේ (MINUSTAH) ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II සහ කාර්යයේ නියුතු ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, 27 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ කාර්යයේ නියුතු අණදෙන නිලධාරි, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි සහ 55 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ) වැනි ධූරයන් ද හෙබවීය.

එසේම, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර RWP USP විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (ක්‍රීඩා), 652 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ 55 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති වැනි ප්‍රධාන ධූරයන් ද හොබවන ලදී.

මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණවික්‍රම පදක්කමෙන් සහ සිදුකළ උත්තරීතර සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලැබීය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර RWP USP විසින් සිය යුද්ධ හමුදා තුළදී කාලතුවක්කු ඉදිරි නිරීක්‍ෂණ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, කණ්ඩයම් භාර නිලධාරි අණදෙන පාඨමාලාව සහ නිලධාරි විශිෂ්ඨතා පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන් රැසක් හදාරන ලදී.

එමෙන්ම, තරුණ නිලධාරි උපායමාර්ගික පාඨමාලාව - පාකිස්තානය, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ හමුදා උපදේශක පාඨමාලාව - හයිටි වැනි විදේශීය පාඨමාලාවන් ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය සේවාකාලය තුළ දී සාර්ථකව හදාරන ලදී.

එසේම, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිදාරියෙකු ද වේ.