විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc, 2026 මැයි මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG හමුවිය.

1991 දෙසැම්බර් 09 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක කෙටිකාලීන පාඨමාලා 3 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 දෙසැම්බර් 19 දින ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මැයි මස 19 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 මැයි මස 20 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගැනීමට නියමිත මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරනු ලබයි.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 1 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ ඛණ්ඩ භාර නිලධාරී, බුද්ධි නිලධාරී සහ නිලධාරී අණදෙන, 1 වන බලඇණිය ගැමුණු හේවා බලකා ගැමුණු පසුමූලයේ නිලධාරී අණදෙන, පාබල පුහුණු මධ්‍යස්ථානයේ විධායක අධිකාරී, 1 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරී අණදෙන, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීම මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ මාණ්ඩලික නිලධාරී, 9 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරී සහ දෙවන අණදෙන නිලධාරී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මාණ්ඩලික නිලධාරී 1 (පාලන), 24 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී 1 (භඨකාර්ය සම්පාදන), ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ කාර්යයේ නියුක්ත මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස සේවය කර ඇත.

තවඳ, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ලෙස සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස ද කටයුතු කර ඇත.

ඉහත තනතුරු වලට අමතරව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි පාබල සේනාංකයන්හි සහ බලසේනාවන්හි  ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියාන්විත), ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ), කර්නල් (සාමාන්‍ය මාණ්ඩලික නිලධාරී), පාබල බලසේනා බලසේනාධිපති, පාබල සේනාංක නියෝජ්‍ය සේනාංකාධිපති සහ සේනාංකාධිපති යන තනතුරුද හොබවා ඇත.

ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කැපවීම සහ ආදර්ශමත් සේවය අගයමින් වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම සහ රණ සූර පදක්කම (දෙවරක් සම්මානයෙන් පිදුම් ලැබීය).

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මූලික වෙඩිකරැ පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, නිලධාරීන් සඳහා වූ ඒකක ගිණුම් පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව සහ ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව ඇතුළු දේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තරුණ නිලධාරීන්ගේ උපාය මාර්ගික පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ ඛණ්ඩ අවි පාඨමාලාව - ඉන්දියාව ඇතුළු විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

හමුදා සුදුසුකම් වලට අමතරව, ජ්‍යෙෂ්ඨ නිලධාරි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආපදා විශ්ලේෂණය, කළමනාකරණය සහ අවම කිරීම පිළිබඳ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් දියුණුව ආයතනයෙන් ආපදා විශ්ලේෂණය සහ කළමනාකරණය පිළිබඳ විධායක ඩිප්ලෝමාවක් ලබා ඇත.