30th April 2026
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු USP ndc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 අප්‍රේල් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndupsc IG හමුවිය.
1992පෙබරවාරි මස 10 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක PMA- 37 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු USP ndc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992දෙසැම්බර් මස 19 වන දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මාර්තු මස 31 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 මැයි මස 04 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගැනීමට නියමිත මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 16 පාබල සේනාංකයේ සේනාංකාධිපති (මීට පෙර 61 පාබල සේනාංකය) වශයෙන් රාජකාරි කරනු ලබයි.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 4 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලස්ථාන බතරොයියෙහි සහ 9 වන බතරොයියෙහි නිලධාරී අණදෙන, 8 වන මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 9 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරී අණදෙන, 9 වන කාරක රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බතරොයි භාර අණදෙන නිලධාරී සහ විධායක අධිකාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 3 සහ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (අතිරේක), 16 වන (ආධාරක) රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරී, කාලතුවක්කු පුහුණු පාසලේ උපදේශක (කාලතුවක්කු උපදේශක), ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ව්‍යාපෘති භාර නිලධාරී, 16 වන (ආධාරක) රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 4 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලෙස සේවය කර ඇත.
තවඳ, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී, රණවිරු සේවා අධිකාරියේ යුද්ධ හමුදා විරුසර වරප්‍රසාද කාඩ්පත් අංශයේ සම්බන්ධීකාරක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිලධාරී ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 (පත්කිරීම් අංශය), වැලිකන්ද කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ අධ්‍යක්‍ෂ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් කර්නල් (ප්‍රධාන මාණ්ඩලික නිලධාරී), 542 පාබල බලසේනාවේ බලසේනාධිපති, 56 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් (ප්‍රධාන මාණ්ඩලික නිලධාරී) යන තනතුරු හොබවා ඇත.
ඉහත තනතුරු වලට අමතරව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී පාබල සේනාංකයන්හි සහ බලසේනාවන්හි ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියාන්විත), කර්නල් (ප්‍රධාන මාණ්ඩලික නිලධාරී), පාබල බලසේනා බලසේනාධිපති සහ පාබල සේනාංක නියෝජ්‍ය සේනාංකාධිපති යන තනතුරුද හොබවා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කැපවීම සහ ආදර්ශමත් සේවය අගයමින් උත්තම සේවා පදක්කම (USP) පිරිනමන ලදී.
එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තරුණ නිලධාරී පාඨමාලාව, මූලික බුද්ධි පාඨමාලාව, නිලධාරීන් සඳහා වූ ඒකක ගිණුම් පාඨමාලාව, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරී පාඨමාලාව, හමුදා නිරීක්ෂක සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ භඨකාර්ය සම්පාදක නිලධාරී පාඨමාලාව සහ ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව ඇතුළු දේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.
එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කාලතුවක්කු තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ජලතරණ පාඨමාලාව - පාකිස්ථානය, නිලධාරීන් සඳහා වූ කාල තුවක්කු මාණ්ඩලික පාඨමාලාව -බංග්ලාදේශය සහ බලඇණි අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - චීනය ඇතුළු විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.
තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බංග්ලාදේශ වෘත්තීය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (තාක්ෂණික) උපාධියක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් පවත්වනු ලබන ඖෂධ උපදේශනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක්ද ලබා ගෙන ඇත.