විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන USAWC psc ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

1990 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 34 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන USAWC psc ජ්‍යෙෂ්ඨ නිලධාරි දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 ජුනි මස 06 වන දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අගෝස්තු මස 19 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 මැයි මස 06 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගැනීමට නියමිත මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කරනු ලබයි.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 1 සහ 3 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඛණ්ඩ භාර නිලධාරී, 3 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රැළි භාර නිලධාරී, 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරී අණදෙන, සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු බලඝණයේ නිලධාරී අණදෙන, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ බලඝණාධිපති, 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන අණදෙන නිලධාරී,සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, 9 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කාර්ය නියුක්ත අණදෙන නිලධාරී, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ අතිරේක බලඇණි අණදෙන නිලධාරී, 8 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, 3 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක වැනි ධූරයන් හොබවන ලදී.

තවඳ, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ කාර්ය නියුක්ත සේනාවිධායක, කර්නල් (ප්‍රධාන මාණ්ඩලික නිලධාරී) ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි, වැඩ බලන බ්‍රිගේඩියර් (ප්‍රධාන මාණ්ඩලික නිලධාරී) ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාවේ කර්නල් (විධායක ජෙනරාල්), ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ), යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මාණ්ඩලික රාජකාරි, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික යන තනතුරු හොබවා ඇත.

ඉහත පත්වීම් වලට අමතරව, ඔහු පාබල සේනාංක සහ බලසේනා මට්ටම්වල ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3, බලසේනා මේජර්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1, පාබල බලසේනා බලසේනාධිපති සහ සේනාංකාධිපති යන තනතුරු හොබවා ඇත.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්තරුණ නිලධාරී පාඨමාලාව, නිලධාරී විශිෂ්ටතා පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, ක්‍රියාන්විත මාණ්ඩලික නිලධාරී රාජකාරි පාඨමාලාව, සන්නද්ධ ගැටුම් නීතිය පිළිබඳ පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, ගෝලීය සාම සාධක මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් ප්‍රේරණ පුහුණු පාඨමාලාව - ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය සන්නද්ධ බලකා තරුණ නිලධාරීන්ගේ මූලික පාඨමාලාව - පාකිස්ථානය, ගුවන් විදුලි උපදේශක පාඨමාලාව - ඉන්දියාව, හමුදා ප්‍රේරණ පුහුණු පාඨමාලාව - හයිටි, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් ප්‍රේරණ පුහුණු පාඨමාලාව - හයිටි, සංග්‍රාමික කණ්ඩායම් අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජනපද හමුදා යුධ විද්‍යාල පාඨමාලාව - ඇමරිකා එක්සත් ජනපදය. වැනි දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබාගෙන ඇත.