විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2026 අප්‍රේල් මස 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී 2023 සහ 2024 වසරවල පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ රණවිරු දූ දරුවන් ඇගයීමට ලක් කෙරිණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වේන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය ප්‍රධාන අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූහ.

ප්‍රධාන අමුත්තන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී, රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ. වීරකෝන් RWP RSP විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, ඉන්පසු මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සැමරීම සහ සාම්ප්‍රදායික පිළිගැනීමේ නර්තනයක් ද පැවැත්විණි. අනතුරුව, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc සහ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී දර්ශනී යහම්පත් මහත්මිය ද, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc සහ සේවා වනිතා ඒකකයේ ලේකම් වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය ද, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ RWP RSP USP rcds psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ශිෂ්‍යත්වලාභීන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා එක් වූහ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සිසුන් 66 දෙනෙකු තෝරාගත් අතර, ඔවුන්ගෙන් සිසුන් 58 දෙනෙකු උත්සවය අතරතුරදී සංකේතාත්මකව සිය ත්‍යාග ලබා ගත්හ. එක් එක් ශිෂ්‍යයන් වෙත රුපියල් 25,000.00 ක මුදලක් තැන්පත් කරන ලද බැංකු පොතක් සමඟින් පොත්පත්, පාසල් බෑග් සහ කැට (Cash boxes) ප්‍රදානය කරන ලදී.

ශිෂ්‍යත්වලාභී සිසුවෙකු විසින් සිදු කරන ලද ස්තූති කතාවෙන් අනතුරුව, තේ පැන් සංග්‍රහයක් පවත්වමින් උත්සවයේ කටයුතු නිමාවට පත් විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් මෙන්ම සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.