ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මව්බිමට උත්තමාචාර පුද කරයි

"ගොඩනඟමු ශ්‍රී ලංකා" යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය 2026 පෙබරවාරි මස 04 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් ලෙස සැමරිණි. සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් එතුමාව ජාතික ධජය එසවවීමේ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර, එහිදී පාසල් දරු දැරියන් කණ්ඩායමක් විසින් ජාතික ගීය ගායනා කරද්දී එතුමන් විසින් ජාතික ධජය එසවීම සිදු කරන ලදී.

"ධජය එසවීමේ උත්සවයෙන් අනතුරුව, පාසල් සිසුවියන් කණ්ඩායමක් විසින් ‘ජයමංගල ගාථා’ සහ ‘දේවෝ වස්සතු කාලේන’ ගාථා ගායනා කරමින් ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද කරන ලදී. පසුව, මව්බිමේ සහ ජාතියේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමේ උදාර මෙහෙවර පෙරදැරිව රට වෙනුවෙන් දිවිපිදූ සියලු දේශප්‍රේමීන් සහ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විය.

අනතුරුව,ජනාධිපතිතුමන් වෙත ත්‍රිවිධ හමුදා සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන්පසුව, ජනාධිපතිතුමන් ජාතිය ඇමතීමේ කතාව සිදුකරමින් රටේ ප්‍රගතිය සහ ඉදිරි ගමනේදී එකමුතුකමේ වැදගත්කම පිළිබඳව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24කින් සමන්විත වූ මෙම පෙළපාලිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය මෙන්ම විශ්‍රාමික සහ සේවයේ නියුතු ආබාධිත රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් ද අභිමානවත් ලෙස වර්ණවත් විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc පෙළපාලියට අණදීම සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ යුද විනය සහ ජාතික අභිමානය මැනවින් පිළිඹිබු කළ මෙම පෙළපාලියේදී, සහභාගී වූවන් හමුදා සම්ප්‍රදායට අනුකූලව ජනාධිපතිතුමන් වෙත උත්තමාචාර පුද කළහ.

උත්සවයේ අවසන් අදියර සංස්කෘතික සංදර්ශනවලින් වර්ණවත් වූ අතර, එහිදී ශ්‍රී ලාංකේය උරුමයේ පවතින පොහොසත් විවිධත්වය විදහා දක්වන සාම්ප්‍රදායික නර්තනයන් ඉදිරිපත් කෙරිණි. ජාතියේ බහු-වාර්ගික සමාජය තුළ පවතින එක්සත්කම සහ සහජීවනය සංකේතවත් කරමින්, විවිධ ජාතීන්ට අයත් දරුවන් විසින් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමත් සමඟ උත්සව කටයුතු නිමාවට පත්විය.

සර්ව ආගමික නායකයන්, පාර්ලිමේන්තුවේ කථානායකවරයා, තානාපතිවරුන්, අමාත්‍යවරුන්, අගවිනිසුරුවරයා, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, සිවිල් සම්භාවනීය අමුත්තන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප අනුග්‍රහය: www.presidentsoffice.gov.lk