ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

දශක හතකට අධික කාලයක් ජාතිය වෙනුවෙන් කැපවූ සහ කීර්තිමත් සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සර දින සැමරුම 2025 ඔක්තෝබර් මස 10 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී උත්කර්ශවත් අයුරින් සමරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.කේ.එස්.පී.එම්.ආර්.ඒ.බී දොඩම්වෙල psc විසින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තු භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ඉන් අනතුරුව, එතුමන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සමඟින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේ ප්‍රධාන දොරටුව වෙත පැමිණියේය. එහිදී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්ත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබීය. අනතුරුව උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා ධජය එසවීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් පසුව දිවංගත වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර RSP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙවර යුද්ධ හමුදා සංවත්සර දින පෙළපාලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 නියෝජනය කරමින් නිලධාරීන් 75 දෙනෙකු සහ සෙසුනිලයන් 626 දෙනෙක් යුද්ධ හමුදා වර්ණ සමඟින් සහභාගි වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පෙළපාලිය පරික්‍ෂා කිරීමෙන් අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව එතුමන් වෙත ගෞරවාචාර පුදකළහ. ඉන් අනතුරුව, පසුගිය වසර තුළ යුද්ධ හමුදාවේ අභිමානය වෙනුවෙන් දායක වූ සෙසුනිලයන් 06 දෙනෙකු වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදාධිපති ප්‍රශංසාත්මක ලාංඡනය පැළඳවීය. නිර්භීතකම, අවංකභාවය, ජාතියේ හදිසි අවස්ථාවන් සඳහා කැපවීම සහ සිය ආරක්‍ෂාව පිළිබඳ නොතකමින් අනුපමේය රාජකාරියක නිරත වීම වෙනුවෙන් ඔවුන් වෙත මෙම ලාංඡන පළඳවනු ලැබීය.

අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කරමින් අනාගත සංවර්ධනය සඳහා භටපිරිස් මූලිකත්වය ගෙන කටයුතු කිරීම පිළිබඳව හා උසස් තාක්‍ෂණික කුසලතා සහ නවීන යුධ හැකියාවන්ගෙන් සමන්විත වෘත්තීය සෙබළුන් බිහිකිරීම පිළිබඳව අවධාරණය කළ අතර, ‘සේවයෙන් නායකත්වයට’ යන ආදර්ශ පාඨය යටතේ, විශිෂ්ටත්වය, වෘත්තීයභාවය සහ ශක්තිමත් නායකත්වය මගින් අනාගතයට සූදානම් හමුදාවක් බවට යුද්ධ හමුදාව පත්කිරීමට කැපවී සිටින බව එතුමන් පැවසීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් රාජකාරි කරනු ලබන සියලුම නිලයන් දිරිමත් කරමින් සියලුම හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, රණක්‍ෂිතයට පත් සහ දිවංගත වීරෝදාර රණවිරුවන්, සේවයේ නියුතු නිලධාරින්, සෙසුනිලයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය උපහාරය පුදකළේය.

මෙම සැමරුම් අවස්ථාවට හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, හිටපු යුද්ධ හමුදා මූලස්ථාන සැරයන් මේජර්වරුන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.