ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 100 වැනි විසිර යාමේ පෙළපාලිය අභිමානවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 100 වැනි විසිර යාමේ පෙළපාලිය 2025 දෙසැම්බර් මස 21 දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්වූ අතර, එහිදී කෙඩෙට් නිලධාරීන් 240 දෙනෙකු විසිර ගියහ. එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ආරාධනයකට අනුව, සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

අධිකාරියට පත් නිලධාරින් හා නිලධාරිනියන් අතරට පාඨමාලා අංක - 93 සහ 94 බී, කෙටිකාලීන පාඨමාලා අංක - 21 සී සහ 23, කාන්තා පාඨමාලා අංක 20, 62 (ස්වේච්ඡා) සහ කාන්තා පාඨමාලා අංක 19 (ස්වේච්ඡා) යන පාඨමාලාවන්හි සහ උගන්ඩාව, රුවන්ඩාව සහ සැම්බියාව යන රටවලින් පැමිණි විදේශීය කැඩෙට් නිලධාරීන් අට දෙනෙකු ද ඇතුළත් විය.

උත්සවය ආරම්භයේදී ජනාධිපතිතුමන් අශ්වාරෝහක පෙරහැරකින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ සරඹ පිටිය වෙත කැඳවාගෙන පැමිණි අතර, එහිදී හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ භටපිරිස් විසින් කඳවුරු මුරය පසුකර යෑමේ ගෞරවාචාර පිරනමන ලදී. පසුව ජනාධිපතිතුමන් එම විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය අභියසදී යුද්ධ හමුදාවේ දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකිරීම සඳහා පුෂ්පෝපහාර පිරිනැමීය.

අනතුරුව, මෙම විසිර යාමේ පෙළපාලියේ අණදෙන නිලධාරි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ඒ.බී.සී.පී. වික්‍රමරත්න USP psc විසින් පෙළපාලියේ කටයුතු සිදුකිරීමට ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් අවසර ලබාගන්නා ලදී.

ඉන්පසු ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පෙළපාළිය නිරීක්‍ෂණය කරන ලද අතර, පසුව ප්‍රධාන අමුත්තා විසින් නියෝජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය මේජර් ජෙ‍නරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV RWP and two Bars RSP and Bar USP MMSc (Strat Stu – China) MSc (Def Stu) in Mgt MSc (Def & Strat Stu) fndu (China) psc සහ යුද්ධ හමුදාපතිතුමන් සමඟ එක්ව නව නිලධාරින් වෙත සංකේතාත්මක ජනාධිපති අධිකාරියේ නිල අසිපත් ප්‍රදානය කරන ලදී.

පාඨමාලාවන්හී විශිෂ්ඨ කුසලතා දැක්වූ කෙඩෙට් නිලධාරීන් පහතින් දැක්වේ:

නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලාව අංක 93

•පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය - බලඇණි මෙහෙයුම් නිලධාරි එස්.එම්.ඒ.ජේ සමරකෝන්

•ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය - බලඇණි මෙහෙයුම් නිලධාරි එස්.එම්.ඒ.ජේ සමරකෝන්

නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලාව අංක 94 බී

•පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය - කණ්ඩායම් මෙහෙයුම් නිලධාරි ඩබ්ලිව්.පී.එස් අකලංක

•ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය - කණ්ඩායම් මෙහෙයුම් නිලධාරි ඩබ්ලිව්.පී.එස් අකලංක

කෙටි කාලීන නිත්‍ය කෙඩෙට් නිලධාරි පාඨමාලාව අංක 23

•පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය - ඛණ්ඩ මෙහෙයුම් නිලධාරි ඩබ්ලිව්.එම්.බී.එම් වික්‍රමසිංහ

නිත්‍ය කාන්තා කෙඩෙට් නිලධාරිනි පාඨමාලාව අංක 20

•පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරිනියට හිමි සම්මානය - කෙඩෙට් කෝප්‍රල් එම්.ජී.පී.එම් ලක්මාලි

ස්වේච්ඡා කෙඩෙට් නිලධාරි පාඨමාලාව අංක 62

•පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය -කෙඩෙට් නිලධාරි ආර්.ඩී.අයි.පී. ජයලත්

ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනි පාඨමාලාව අංක 19

•පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරිනියට හිමි සම්මානය - කෙඩෙට් සැරයන් ආර්.එම්.එම්.පී බණ්ඩාර

හොඳම විදේශ කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරවණීය යෂ්ඨිය

•කෙඩෙට් සැරයන් එස් කයම්බෝ (සැම්බියා ජනරජය)

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අධිකාරියට පත් නිලධාරීන් අමතමින් ප්‍රථමයෙන් ඔවුන් වෙත සුභ පැතුම් එක්කිරීමෙන් අනතුරුව, වගකීමෙන් හා කාර්යක්‍ෂමව තම රාජකාරිය ඉටු කරන ලෙස උපදෙස් ලබාදෙමින් මෑත කාලීන දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ආපදා තත්ත්වයන් හිදී යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ කැපවීම අගය කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨය මඟින් යුද්ධ හමුදාව තුළ සේවය කිරීමට මෙන්ම ගෝලීය හමුදා සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා විනයගරුක නිලධ‍ාරින් බිහිකිරීම වෙනුවෙන් සිදු කරනු ලබන කැපවීම පිළිබිඹු කරනු ලැබීය.

ඉන්පසුව, අධිකාරියට පත් වූ නිලධාරින් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විධායක අධිකාරිතුමන් සමඟින් මකර තොරණෙහි පියගැටපෙළ නැඟ මෙතෙක් ඔවුන් පුහුණුව ලැබූ සරඹ භූමිය තුළින් අභිමානවත් ලෙස පා ගමනින් විසිර යන ලදී.

අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු පොතේ සටහනක් තබමින් සිය ප්‍රශංසාව පළ කරන ලදී. අනතුරුව, සීනෝ-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගන්වන ලදී. එසේම, නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් කෙඩෙට් නිලධාරි නිවස්නයේදී සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු විය. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට එක් වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

පෙළපාලිය අවසන් වීමෙන් පසුව සිනෝ-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී ජනාධිපති අධිකාරියට පත් නිර්භීත නිලධාරීන් වෙත යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndc psc IG, සම්භාවනීය අමුත්තන් සහ දෙමාපියන්ගේ සුරතින් උරහිස් මත නිල පැළඳවීමේ (Pipping Ceremony) අභිමානවත් අවස්ථාවට පැවැත් විය.

විසිර යාමේ පෙළපාලිය අවසන්කරන ලද අධිකාරියට පත් නව නිලධාරින්ගේ හමුදා සාම්ප්‍රදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහය එදින සන්ධ්‍යාවේ කෙඩෙට් නිලධාරි භෝජනාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහභාගී වූ අතර, ඊට යුද්ධ හමුදාධිපතිතුමන්, සම්භාවනීය අමුත්තන් රැසක් සහ අධිකාරියට පත් නව නිලධාරීන් ද සහභාගී වූහ.

පූජ්‍ය පක්ෂය, හිටපු යුද්ධ හමුදාපතිවරුන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ හිටපු සේනාවිධායකවරුන්, ආරක්ෂක උපදේශකයින් සහ මහා කොමසාරිස්වරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරිින්ගේ කලත්‍රයන් සහ කෙඩෙට් නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයින් මෙම උත්සවයට සහභාගී වූහ.