ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 138 වන සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් දිවිපිදූ රණවිරුවන් වෙත උපහාර දක්වයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 138 වන සංවත්සරය වෙනුවෙන් රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ රණවිරුවන් වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2026 අප්‍රේල් මස 20 වන දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP psc ගේ ආරාධනයෙන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් පසු රණවිරු ස්මාරකය අභියසදී නිල වශයෙන් අනුස්මරණ උත්සවය ආරම්භ විය. අනතුරුව, එම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා සර්ව ආගමික වතාවත් සිදු කරන ලදී. එමෙන්ම, රණවිරුවන්ගේ උත්තරීතර පරිත්‍යාගය සිහිපත් කිරීම සඳහා පැමිණ සිටි සියලුම දෙනා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ.

ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන්, කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ එක්ව රණ විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනැමීය. අනතුරුව, හිරු නැගෙනා මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ වාදනය සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.