ලෝක පිරිසිදු කිරීමේ දිනය - 2025, වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙයි

2025 සැප්තැම්බර් මස 20 දින ‘ලෝක පිරිසිදු කිරීමේ දිනය - 2025’ සැමරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ. එම දිනය මෙවර ‘පරිසරයට හානි නොවන පරිදි රෙදිපිළි හා විලාසිතා අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම’ යන තේමාව යටතේ සමරන ලද අතර, මෙම ගෝලීය වැඩසටහනේ අරමුණ වන්නේ රෙදිපිළි මඟින් සිදුවන පරිසර දූෂණය ඉහළ යාමේ ගැටළුවට පිළියම් වශයෙන් පරිසරයට හිතකර රෙදිපිළි හා විලාසිතා ද්‍රව්‍ය පරිභෝජනය සඳහා දිරිමත් කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමයි.

ඒ අනුව මෙවර ලෝක පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට’ අනුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළ සහ ඉන් පිටත පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. යුද්ධ හමුදාව විසින් පාරිසරික භාරකාරත්වය සහ ප්‍රජා සුභසාධනය සඳහා සිය කැපවීම පෙන්නුම් කරමින්, ජාතික කාර්යයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක ලදී.

මෙම වැඩසටහනේදී යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලැබූයේ දිනපතා කසළ එකතු වන ප්‍රදේශ පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සහ ඒවා කළමනාකරණය කිරීම කෙරෙහිය.

යුද්ධ හමුදා කඳවුරු වලින් ඔබ්බටව අවට පොදු ස්ථානවලද මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනැගීමට යුද්ධ හමුදා භටපිරිස් විසින් සිය දායකත්වය ලබාදෙන ලදී.