ජාත්‍යන්තර ඕසෝන් දිනයට සමගාමීව යුද්ධ හමුදාවෙන් වැඩසටහන් මාලාවක්

ලෝක ඕසෝන් ස්ථරය සුරක්‍ෂිත කිරීමේ දිනය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සැප්තැම්බර් මස 16 දින වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. ඒ අනුව දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරුවල පැළ 5000 ක් රෝපණය කරනු ලැබූ අතර, එම අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් එදින යුද්ධ හමුදා මූලස්ථානය ඉදිරිපිට ඇති ‘තුරු මිතුරු නව රටක්’ නාම පුවරුව අසල සුදු හඳුන් පැළයක් රෝපණය කරන ලදී.

ජාත්‍යන්තර ඕසෝන් දිනය වෙනුවෙන් පාරිසරික ආරක්‍ෂාව පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දැනුවත්භාවය වැඩි කිරීමේ අරමුණින් යුද්ධ හමුදා කඳවුරු වල පැයක දේශනයක් පවත්වන ලදී. එම දේශනයේදී ලෝකයේ රටවල් අත්සන් කරන ලද ‘මොන්ට්‍රියල්’ සම්මුතිය, ඕසෝන් ස්ථරය ක්ෂය වීමට හේතු, මිනිසාගේ පැවැත්ම සඳහා එහි බලපෑම, ඕසෝන් ස්ථරය ආරක්‍ෂා කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

එසේම, මෙම දිනයට සමගාමීව සියලුම යුද්ධ හමුදා කඳවුරු වල පොසිල ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රෝපකරණ භාවිතය අවම කිරීමෙන් හානිකර වායූන් පරිසරයට එක් වීම අඩු කිරීම සහ කඳවුරුවල භාවිතා කරන සියලුම වායු සමීකරණ යන්ත්‍ර සහ ශීතකරණ පරීක්‍ෂා කිරීමෙන් හරිතාගාර වායු කාන්දුවීම් වැළැක්වීම සඳහා හානිකර වායු විමෝචනය අඩු කිරීමට ද පියවර ගන්නා ලදී.