ඉන්දියානු යුද්ධ හමුදාධිපතිගේ මෙරට නිල සංචාරය සාර්ථකව අවසන්

ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි සහ එතුමන්ගේ භාර්යාව වන සුනීතා ද්විවේදි මහත්මිය 2026 ජනවාරි මස 06 වන දින ආරම්භ කරනු ලැබූ මෙරට නිල සංචාරය අවසන් කරනු ලැබීය. මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරනු ලැබීය.

එම සංචාරය අතරතුරදී, ජෙනරල් ද්විවේදි විසින් මෙරට ජ්‍යෙෂ්ඨ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සමඟින් පුහුණු වැඩසටහන්, වෘත්තීය හමුදා අධ්‍යාපනය සහ කලාපීය ආරක්‍ෂක ගැටළු පිළිබඳව වූ වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවන් පවත්වන ලදී.

මෙරට නිල සංචාරය තුලදී, එතුමන් යුද්ධ හමුදාවේ ප්‍රධාන ආයතන කිහිපයක ද සංචාරය කළේය. එම සංචාරයන් හිදී දෙරටෙහි සන්නද්ධ හමුදා අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබිඹු කරමින් යුද්ධ හමුදාවේ සුබසාධනය වෙනුවෙන් පරිත්‍යාගයක්ද සිදුකරන ලදී.

මෙරටින් පිටත්ව යාමට පෙර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සහ ජෙනරල් ද්විවේදි, සුනීතා ද්විවේදි මහත්මිය සහ පැමිණි දූත පිරිස අතර විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුවිය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් ආරාධිත නිලධාරීන් සහභාගී වූහ.