7th January 2026
ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු ත්‍රිපුද්ගල දූත පිරිසක් 2026 ජනවාරි මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි, ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් පිළිගන්නා ලද අතර, අනතුරුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
ඉන්පසුව, ඉන්දියානු යුද්ධ හමුදාධිපති සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG අතර සුහද හමුවක් පැවැත්විණි. එම හමුව අවසන් කරමින් ඉන්දියානු ආධාර යටතේ යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ඉදි කිරීමට යෝජිත ඉන්දු-ලංකා ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා වූ අදාළ ගිවිසුම් බහුකාර්ය ශාලාවේදී අත්සන් කරනු ලැබීය.
පසුව ඉන්දියානු යුද්ධ හමුදාධිපති ආපදා ප්‍රතිචාර කණ්ඩායම්වල සාමාජිකයින්ගේ විශිෂ්ට හා කැපවූ සේවය ඇගයීම සඳහා සංවිධානය කරන ලද උත්සවයකටද සහභාගි වූ අතර, අනතුරුව දෙරටෙහි යුද්ධ හමුදාධිපතිවරුන් අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාවය පිළිඹිබු කරමින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති විසින් මහින්ද්‍රා ස්කොර්පියෝ වර්ගයේ වාහන 20ක්, පුහුණු සමාකෘති සහ ගිලන් රථ දෙකක් නිල වශයෙන් භාරදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.
යුද්ධ හමුදා මූලස්ථාන නිල සංචාරයට පෙර, ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය වෙත පැමිණි අතර, එහිදී පීඨාධිපතිවරුන් සහ පුහුණුව ලබන නිලධාරීන් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්තේය. පසුව, ඉන්දියානු යුද්ධ හමුදාධිපති එම විද්‍යාලයීය පුස්තකාලයේ ‘Indo - Lanka Friendship Wisdom Corner’ විවෘත කළ අතර, විද්‍යාලය වෙත ගිලන් රථයක් ද පරිත්‍යාග කළේය. එමෙන්ම, ඉන්දියානු යුද්ධ හමුදාධිපති බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් දිවිපිදූ ඉන්දීය හමුදා සාමාජිකයන් වෙත ගෞරවාචාරයද දැක්වීය.