16th November 2025
81 වන සන්නද්ධ හමුදා සැමරුම් දිනය සහ පොපි මල් සැමරුම් උත්සවය 2025 නොවැම්බර් මස 16 දින කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි Cenotaph හමුදා ස්මාරකය අභියසදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාව එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය පළමු ලෝක යුද්ධයේ සිට අද දක්වා රට වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ උත්තරීතර පරිත්‍යාගයන් සිහිපත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබයි.
මෙම අනුස්මරණ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සහභාගි වූවාය.
එමෙන්ම, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ. පී අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV RWP and two Bars RSP and Bar USP MMSc (Strat Stu-China) MSc (Def Stu) in Mgt MSc (Def & Strat Stu) fndu (China) psc සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG මෙම අවස්ථාවට සහභාගි වූහ.
උත්සව අවස්ථාවේදී දේශය වෙනුවෙන් තම ජීවිත පූජා කල රණවිරුවන්ගේ දේශප්‍රේමය, ධෛර්යය සහ කැපවීම අගයමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව එම ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සහ හමුදා ගෞවරවාචාරයන් දැක්වීම සිදුකරන ලදී.
මෙම උත්සව අවස්ථාවට නාවික හමුදාධිපති, මෙරට සිටින විදේශීය ආරක්‍ෂක උපදේශකවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ එම රණවිරුවන්ගේ සමීපතම ඥාතීන් සහභාගි වූහ.