ආපදාවෙන් පසු යුද්ධ හමුදාව ජාතිය ගොඩනැගීමේ කටයුතු සඳහා දායකවේ

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජීවිත හා දේපල හානි සිදුවූ අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් පැවති එම අයහපත් කාලගුණික තත්ත්වයෙන් පසු අවතැන් වූවන් ගලවා ගැනීම සඳහා මෙන්ම අතුරුදහන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් සිදු කළ අතර, එම කාර්යයන් වඩාත් තීව්‍ර කරමින් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් යුද්ධ හමුදා විසින් ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට සහය වෙමින් ඔවුන්ගේ දෛනික ජීවන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට සහ අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි.

ඒ අනුව, 2025 නොවැම්බර් මස 29 දින සිට දෙසැම්බර් 3 දින දක්වා කාලය තුළ ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් නායයෑම් ස්ථානවල සුන්බුන් ඉවත් කිරීම, හානියට පත් මාර්ග අලුත්වැඩියා කිරීම සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ආපදාවන්ට ලක් වූ ප්‍රජාවන්ට සහය වීම සිදුකරන ලදී.

221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 05 දින කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන්, ත්‍රිකුණාමලය-පුල්මුඩෙයි B424 මාර්ගයේ කිලෝමීටර් 49 සහ කිලෝමීටර් 51 කණු අතර හානියට පත් කොටස් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට වෙත සහාය ලබා දෙන ලදී.

1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 04 දින යත්තල්ගොඩ දුම්රිය මාර්ගයේ එකතු වී තිබූ පස් ඉවත් කර දුම්රිය ගමනා ගමනය සිදු කිරීමට හැකිවන පරිදි යථා තත්ත්වයට පත් කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භට පිරිස් විසින් ත්‍රිකුණාමලය සිට පුල්මුඩේ දක්වා වූ B 424 මාර්ගයේ හානියට පත් කොටස් අලුත් වැඩියා කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට සහය වෙන ලදී.

ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර භට පිරිස් යාටියන්තොට සහ මීනාගල ප්‍රදේශවල හානියට පත් මාර්ග අලුත් වැඩියා කරන ලදී.

කලා ඔය දුම්රිය පාලමේ දකුණු කොටස (කලා ඔය දුම්රිය පාලමේ සිට ගල්ගමුව දෙසට) භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

සිවිල් වැසියන්ගේ ඉල්ලීම පරිදි, 17 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් පෙරියපුලියන්කුලම් වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.

2025 දෙසැම්බර් මස 06 දින 11 පාබල සේනාංකයට අයත් 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අබගස්දෝව සහ සිල්මියාපුර ජල පවිත්‍රකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් යොදවන ලදී.

බුජ්ජෝමුව සහ යත්තල්ගොඩ දුම්රිය ස්ථාන අතර, කිලෝමීටර් 58 කණුව අසල සිට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි යත්තල්ගොඩ ප්‍රදේශයේදී නායයෑමක් හේතුවෙන් පොල්ගහවෙල –අඹේපුස්ස දුම්රිය මාර්ගයේ කොටසකට හානි සිදු විය. 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් හි ශ්‍රම දායක්වයෙන් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කරමින් පවතී.

2025 දෙසැම්බර් මස 06 වන දින, අලව්ව සහ බුජ්ජෝමුව දුම්රිය ස්ථාන අතර කිලෝමීටර් 61 කණුවේ සිට මීටර් 270 ක් දුරින් පිහිටා ඇති බුජ්ජෝමුව බෝක්කුව ආසන්නයේදී පාංශු ඛාදනයට ලක් වූ ස්ථානයේ අලුත්වැඩියා කටයුතු 9 බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් සිදු කරනු ලබයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු කැබිතිගොල්ලෑව - ඇල්ලෙවැව වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 5 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සහාය ඇතිව සිදු කරන ලදී.

මීට අමතරව, 2025 දෙසැම්බර් මස 06 දින පලුගස්වැව මහමන්කඩවල වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 7 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භට පිරිස් සහාය විය.

ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බරපතළ හානි සිදුවූ කොළඹ–මඩකලපුව දුම්රිය මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශය අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.

22 පාබල සේනාංකයේ භට පිරිස්වල සහය ඇතිව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නීලපොල ප්‍රදේශයේ මහවැලි ගංගා ඉවුර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු, ආරම්භ කරන ලදී එහි ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදු කරමින් පවතී.

ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් දේශ ගොඩනැගීමේ ක්‍රියාදාමය සඳහා සහය වෙමින් බූ ඔය ප්‍රදේශයේ කැඩී ගිය දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම,‍ මහලින්දවැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම, ජලයෙන් යටවීම හේතුවෙන් හානි වූ දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීම, කුරුවිල් සොරොව්ව ආශ්‍රිතව යෝධ වැව් බැම්මේ හානියට පත් සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම සහ කල්කුලම් වැව් බැම්ම අලුත්වැඩියා කිරීම සිදු කරන ලදී.

යුද්ධ හමුදා භට පිරිස්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය සමඟ එක්ව පුරාණ ඇලහැර ඇළ ඉස්මත්ත ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු සඳහා අඛණ්ඩව පස්වන දිනටත් සම්බන්ධ වූ අතර ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිමකිරීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහාය සපයනු ලබයි.

අධික වර්ශාව නිසා සියඹලාගස්වැවේ ජල මට්ටම පිටාර ගැලීම හේතුවෙන් වැව් බැම්මට හානි වූ අතර, 21 පාබල සේනාංකයට යටතේ ස්ථාපිත 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 09 දින වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 7 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් පලුගස්වැව ප්‍රදේශයේ අපදාවට ලක්ව තිබූ මහ මාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කළ අතර, 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නොච්චියාමොඩෙයි ප්‍රදේශයේ සිදුකරනු ලබන දුම්රිය මාර්ග අලුත්වැඩියා කටයුතු වල 60% ක ප්‍රමාණයක් නිම කිරීමට කටයුතු කරන ලදී. මීට අමතරව, ජල මට්ටම ඉහළ යාමෙන් හානි වූ වන්නකුලම් වැව් බැම්ම 8 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරණු ලබයි.