27th September 2025
2025 ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 76 වැනි යුද්ධ හමුදා සංවත්සර දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්, 2025 සැප්තැම්බර් මස 26 දින වවුනියාවේ ශ්‍රී කන්දසාමි කෝවිලෙහිදී විශේෂ හින්දු 'ආශිර්වාද' පූජාවක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරන ලද හින්දු ආශීර්වාද පූජා උත්සවය, හින්දු ආගමික වතාවත් හා චාරිත්‍රානුකූලව කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර, එහිදි යුද්ධ හමුදා ධජ කෝවිලෙහි ඇතුළු කුටිය වෙත රැගෙන ගොස් ආශීර්වාද කරන ලදි.
ඒ අනුව උතුරු නැගෙනහිර ජීවත් වන සහෝදර හින්දු ජනතාවගේ සංස්කෘතික, ආගමික සහ සමාජයීය වටිනාකම්වලට ගරු කරමින් සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ සංකල්පවලට අනුගත වෙමින්, යුද්ධ හමුදා ධජවලට හින්දු දේවාශිර්වාදය ලබාගැනීම මෙවර වව්නියාවේදී පවත්වන ලදී.
එම අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ යුද්ධ හමුදා හින්දු සංගමයේ සභාපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc විසින් හින්දු සම්ප්‍රදායට අනුව නදස්වරම් මේලම් සංගීත වාදනය කරමින් පිළිගන්නා ලදී.
පසුව, දේවාල සීනු නාද මධ්‍යයේ යුද්ධ හමුදා ධජය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආශිර්වාද එක් කිරීම සඳහා පූජකවරුන් වෙත පිළිගැන්වීය. පසුව ප්‍රධාන කුරුක්කල් සිව ශ්‍රී සර්වේශ්වර කුරුක්කල්ගේ ප්‍රධානත්වයෙන් යුත් හින්දු පූජකවරුන් පිරිසක් විසින් මෙම පූජාව පවත්වන ලදී.
ආගමික පූජා වතාවත්වලින් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සියළුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් හින්දු කෝවිලේ සංවර්ධන කටයුතු සඳහා එම කෝවිලේ භාණ්ඩාගාරික අරුල් සෙල්වම් මහතාට මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කරන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.