76 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සර්ව රාත්‍රික ආශීර්වාද ‘පිරිත් සජ්ඣායනයක්’ සහ දානමය පිංකමක්

2025 ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 76 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට ආශීර්වාද පතා සිදුකරන ලද සර්ව ආගමික වතාවත්හි අවසානය සනිටුහන් කරමින් සම්ප්‍රදායික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය 2025 ඔක්තෝබර් මස 6 සහ 7 යන දිනයන්හිදී පනාගොඩ ශ්‍රී මහා බෝධිරාජාරාමය විහාරස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගී වූහ.

මෙම අවස්ථාව වෙනුවෙන් වැඩමවා වදාළ ගංගාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ විසින් මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයේ මුලසුන හෙබවූ අතර, රත්නමාලි විහාරයේ ප්‍රධාන විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුනවැවේ ඥානතිලක හිමියන් විසින් එහිදී අනුශාසනාවක් පවත්වමින් යුද්ධ හමුදාව විසින් ජාතිය වෙනුවෙන් සිදුකළ කෘතහස්ත සේවය අගයමින් යුද්ධ හමුදාවේ අනාගතයට ආශිර්වාද කළහ. වැඩසටහනේ කටයුතු අවසන් කරමින් 2025 ඔක්තොබර් මස 7 දින මහා සංඝරත්නය උදෙසා උදෑසන දානය පිරිනමන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන්, මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් පිරිසක් සහභාගී වූහ.