76 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ආගමික ආශිර්වාද පතා සිදුකරනු ලබන පිංකම් මාලාව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් ඇරඹේ

එළඹෙන ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 76 වන යුද්ධ හමුදා සැමරුම් දිනයට සමගාමීව, යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ උත්සවය අද (26) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියසදී පැවැත්විණි.

සම්ප්‍රදායානුකූලව, යුද්ධ හමුදාධිපතිතුමන් පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ බැහැදැක, වැඳ නමස්කාර සිදුකර ගෞරව දක්වන ලදී.

පසුව, පූජ්‍ය ඊතලවැටුනවැවේ ඥානතිලක නාහිමිපාණන් විසින් පන්සිල් සමාදන් කරවන ලද අතර, ඒ සමඟ රැස්ව සිටි පිරිසද පන්සිල් සමාදන් වූහ. අනතුරුව, ලංකාරාම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමිපාණන් විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් යුද්ධ හමුදාව ජාතිය වෙනුවෙන් සිදුකළ අනුපමේය කාර්යභාරය අගය කරන ලදී.

ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ. ටී. පී. ද සිල්වා RSP ndu psc යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ 76 වන යුද්ධ හමුදා සංවත්සර දින පණිවිඩය කියවන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.