බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

13th January 2021

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු මොහොමඩ් ෂෆියුල් බාරි (Commodore Mohamed Shafiul Bari) බදාදා (13) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී, දෙරට හමුදාවන් අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරමින් බංගලාදේශ හමුදාව විසින් දැනටමත් ලබා දී ඇති පුහුණු වැඩසටහන්ට අමතරව, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කෙරිණි.

යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් බංගලාදේශ ආරක්‍ෂක උපදේශක තුමන්, පසුගිය වසර කිහිපය තුළ මෙන්ම දෙරට හමුදාවන් අතර පවත්නා සුහදත්වය සහ සහයෝගීත්ව ශක්තිමත් කරමින් දියත් කරන ලද පුහුණු වැඩසටහන් අනාගතයේදී තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි බංගලාදේශ ආරක්‍ෂක උපදේශක තුමන් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරුණු වීමසීය. මෙම සුහද හමුව අවසානයේ දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. |