නව වසර වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කරමින් යුද්ධ හමුදා මූලස්ථානයෙහි පළමු දින වැඩ අරඹයි

1st January 2021

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී අද (01) දින ජාතික ධජය හා යුද්ධ හමුදා ධජය ඔසවා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමෙන් අනතුරුව නව වසර වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිඥාව කියවා යුද්ධ හමුදාධිපතිතුමන් සියලුනිලයින් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව 2021 නව වසරේ පළමු දින වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

උත්සව කටයුතු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්ප්‍රාප්තියත් සමඟ ආරම්භ විය. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටම්පිටිය පිළිවෙලින් ජාතික ධජය සහ යුද්ධ හමුදා ධජය ඔසවා දිනයේ වැඩ කටයුතු ආරම්භ කෙරිනි. මෙම අවස්ථාවට විධායක ජෙනරල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුදෙනා එක්ව ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්‍ෂා කළහ. ඉන් අනතුරුව, යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් සේන වඩුගේ විසින් නව වසර වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ භටපිරිස් ඇමතීය. “කොවිඩි වෛරසය ව්‍යාප්තිය මධ්‍යයේ ඔබ සැවොම පසුගිය වසරේ කටයුතු කළ ආකාරය පිළිබඳව මම මෙහිදි සිහිපත් කරමි. වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ රාජකාරීවලදී ජාතියේ ආරක්‍ෂකයා ලෙස ඔබේ විශිෂ්ඨ වෘත්තිමය කාර්යභාරය ප්‍රශංසාවට ලක් කිරීම අත්‍යවශය වේ. වෙන කිසිවක් නොව අතිගරු ජනාධිපතිතුමන් අද (01) දින උදෑසන දුරකථනය ඔස්සේ සම්බන්ධවී නව වසරට සුබපැතුම් පිරිනමමින් පසුගිය වසර තුලදී අප විසින් අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතියේ ප්‍රගතිය උදෙසා සිදුකළ මෙහෙය අගය කළ අතර මේ වසරේ ද අප ඒ වෙනුවෙන් පුළුල් සහයෝගයක් ලබාදීමට අප සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතුයි” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සියලුදෙනා ආමන්ත්‍රණය කරමින් පැවසීය.

ජාතික ආරක්‍ෂාව හා රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින අපේ හමුදාව, විනයගරුක, ධර්මිෂ්ඨ හා සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා අනාගත අභියෝග වඩාත් වගකීම් සහගතව ඉටු කළ යුතු බව යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

තවදුරටත්, වර්ෂ 2009 මැයි මාසයට පෙර දිවිපිදු රණවිරුවන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මානුෂීය මෙහෙයුම් සඳහා දායක වූ අයවළුන් කළ කැපකිරීම් ද ඔහු සිහිපත් කල අතර ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ද නව වර්ෂය වෙනුවෙන් සුබ පැතුම් එක් කරනු ලැබීය. මේ දක්වා යුද්ධ හමුදාව උපයාගෙන ඇති යහපත් ප්‍රතිරූපය ඉදිරියට පවත්වා ගෙන යන ලෙසත්, වෘත්තිය හා විනය ඉහළම මට්ටමකින් පවත්වාගනිමින් අනාගතයේ රණවිරුවන් වෙත පැවරෙන රාජකාරි වල නිරත වන ලෙසත් එතුමන් සියලු රණවිරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම උත්සවය සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරින් සහ යුද්ධ මූලස්ථානයේ සේවයේ නියුතු සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වූහ. |