සියලුම ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ක්‍රමානුකූලව PCR හෝ ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණවලට භාජනය කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

16th December 2020

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද (15) දින පැවති තවත් එක් සැසි වාරයක් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ වෛද්‍ය විශේෂඥයින් ද සහභාගී වූහ.

මෙහිදී, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අමතමින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සහ රටේ සමාජ ආර්ථික සමතුලිතතාවය ඇති කරමින් රජය විසින් සිදුකරනු ලබන හුදකලා කිරීමේ උපායමාර්ගය පිළිබඳව කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් දැනුවත් කළේය. තවද, මහල් නිවාසවල වෛරසය ව්‍යාප්ත වීම සබැඳිව අදහස් දක්වමින් සෑම නිවසකම වෙසෙන පුද්ගලයින් සඳහා ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණ සහ PCR පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු මහල් නිවාස 10 ක් හුදකලා කිරීමේ ක්‍රියාවලියෙන් නිදහස් කර ඇති බව ප්‍රකාශ කළේය. මූලික පරීක්‍ෂණයේදී පවුලක එක් සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වූ බව තහවුරු වුවහොත් එම පවුලේ සියලුදෙනාම අදාල පරික්‍ෂාවන්ට භාජනය විය යුතු බව ද එතුමන් පැවසීය. මෙම වැඩපිළිවෙල ඊයේ (15) දින දක්වා හුදකලා ස්ථාන වලින් නිදහස් කරන ලද මහල් නිවාස දහයක ක්‍රියාත්මක වූ අතර, අද වන විට තවත් මහල් නිවාස දෙකක් මෙම ක්‍රියාවලියට භාජනය කිරීමට නියමිතව ඇත.

මේ අතර, දැනට පවතින හුදකලා ක්‍රමවේදය යටතේ කොළඹ දිස්ත්‍රික්කය හැරුණු විට සමාජයේ කුඩාම ඒකක හුදකලා කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ප්‍රකාශ කළේය. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සීමාව යටතේ ඇති පොලිස් බලප්‍රදේශ 09 ක් කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් තවමත් හුදකලා කර ඇත.

මේ අතර, BOI ඒන්ටර්ප්‍රයිසස් සේවකයින්ට වෛරසය ආසාදනය වීමේ බලපෑම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් දිනපතා PCR සහ ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණ පැවැත්වීමට ද සාකච්ඡා විය. සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දී ඇත්තේ එම සේවකයින්ගෙන් 1% ක් දිනපතා PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට හෝ ශ්‍රම බලකායෙන් 5% ක් සතිපතා PCR පරීක්‍ෂණවලට භාජනය කළ යුතු බවයි. ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණ සිදුකිරීම අනිවාර්ය නොවන අතර පෞද්ගලික අංශයේ රෝහල් පහක පමණක් මෙම පරීක්‍ෂණ පවත්වයි. මෙම ක්‍රියාවලිය නාවික හමුදාවෙන් පත් කරන ලද කාර්ය සාධක කණ්ඩායමේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරේ.

මහජනයා විසින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් සිදුකළ ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් සලකා බැලූ අතර, පෞද්ගලික රෝහල්, විශේෂිත රෝහල් හා සුඛෝපභෝගී හෝටල් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාව පිළිබඳ සිය අදහස් දැක්වීය. එතුමන් ප්‍රකාශ කළේ අවශ්‍යතා සපුරාලීම සඳහා එවැනි යෝජනා තුනක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවයි.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මෙම සැසිවාරයේදී කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය පිළබඳ පෙර දින වාර්තා පිළිබඳ සාකච්ඡා කළේය. එහිදී, වෛද්‍ය විශේෂඥයින් සමඟින් තාක්‍ෂණික ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුව දැනට පවතින නිරෝධායන ක්‍රියාවලිය වෙනස් කිරීමට පියවර ගතයුතු බව ද ප්‍රකාශ කළේය. විදේශයන්හි සිට තවත් ශ්‍රී ලාංකිකයින් 65,000 ක් නැවත මෙරටට ගෙන්වීමට අපේක්‍ෂා කරන බවත්, හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවත් මෙහිදී සාකච්ඡා විය. |