යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරල් ජයනාත් ජයවීර වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවාචාර පිරිනැමෙයි

30th November 2020

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ජයනාත් ජයවීර වෙනුවෙන් ගෞරවාචාරය පිරිනැමිමේ උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් සෙනසුරාදා (28) දින පැවැත්විණි.

සිය රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජයනාත් ජයවීර වෙත ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමිය. අනතුරුව, ශ්‍රී ලංකා පාබල හමුදාවේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් රවින්ද්‍ර ජයසිංහ විසින් එතුමන්ව පිළිගෙන සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා එම රෙජිමේන්තු මූලස්ථානයේ සරඹ භූමිය වෙත එතුමන් කැටුව යනු ලැබීය. එහිදි, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වසන්ත ආබෘ සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායක විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීණි.

සරඹ භූමිය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජයවීර වෙත භටපිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළින්වනු ලැබීය. ඉන්අනතුරුව, එතුමන් මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එම රෙජිමේන්තුවේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර දක්වමින් දිවිපිදු රණවිරුවන්ට සිය අචාරය පුද කළේය. අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කළ එතුමන් පසුව සිය රෙජිමේන්තුවේ භටපිරිස් ඇමතු එතුමන් සිය අතීත මතක සටහන් සිහිපත් කරමින් තම රෙජිමේන්තුවේ කීර්තිනාමය ආරක්‍ෂා කිරිමේ වැදගත්කම පිළිබඳව කරුණු අවධාරණය කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ මේජර් ජෙනරල් ජයවීර ප්‍රකාශ කළේ “යුද්ධ හමුදාව යනු සෑම පුද්ගලයෙකුටම සාර්ථකත්වය කරා ගමන් කළ හැකි උතුම් වෘත්තියක් බව සියලු දෙනා මතක තබා ගත යුතුයි. කැපවීමෙන් වැඩ කිරීම, වෘත්තිය අඛණ්ඩව සිදුකිරීම, සදාචාරාත්මක බව, ආත්ම අභිමානය, ඉහළ විනය, තමන් තුළින් ඇති කර ගැනීම ජීවිතයේ හොඳම ප්‍රතිඵල ලබාගැනීම සඳහා ඇති එකම යාන්ත්‍රණයයි. ඉහත කී ගුණධර්ම සමඟ ඔබේ හැසිරීම සැමවිටම ඔබව පිළිබිඹු කරන බව ඔබ සිහියේ තබාගන්නා ලෙස ද සඳහන් කළේය. අවසන් වශයෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සිය රෙජිමේන්තුවේ සියලු නිලයන් වෙත කෘතඥතාවය පළ කරමින් එතුමන්ගෙන් පසු රාජකාරීන් සඳහා පැමිණෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ද තමාට මෙන් සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙනුවෙන් එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ. අනතුරුව විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ජයනාත් ජයවීර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුමන් ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ විශේෂ ආරාධිත අමුත්තන් සදහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය. |