ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් රණක්‍ෂිතයට පත් තවත් රණවිරුවන් හතර දෙනෙකුගේ හිසට සෙවණක්
19th November 2020
ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් එම රෙජිමේන්තුව විසින් දියත් කරනු ලබන නිවාස 20 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ තවත් නිවාස හතරක් පසුගියදා විවෘත කෙරිනි.
රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයනාත් ජයවීර ගේ සංකල්පයකට අනුව පරිත්‍යාගශීලින් සහ අනුග්‍රාහකයින්ගේ සහයෝගය ඇතිව දියතලාව, උහන, පරකඩුව සහ මංගලගම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරනු ලැබු මෙම නිවාස රුපියල් මිලියන 4.5 කට අධික වටිනාකමකින් යුක්තය.
ඒ අනුව, 1 වන ශ්‍රී ලංකා පාබල හමුදවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් එම ඒකකයේ විරෝදාර රණවිරුවෙකු වෙනුවෙන් දියතලාව ප්‍රදේශයේ රුපියල් මිලියන 1.3 ක් පමණ වැය කර ඉදිකරන ලද නව නිවස ඉකුත් අඟහරුවාදා (17) දින විවෘත කරන ලදී.
වර්ෂ 2009 ජනවාරි මස 23 වන දින එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ මෝටාර් ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ 4 වන ශ්‍රී ලංකා පාබල හමුදවේ විරෝදාර රණවිරුවකු වෙනුවෙන් එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් පරකඩුව ප්‍රදේශයේ අභිනවයෙන් තවත් නව නිවසක් ඉදිකර දෙන ලදී. එම නිවසර ඉකුත් අඟහරුවාදා (17) දින පැවැත් කෙටි උත්සවයකදී රණක්‍ෂිතයට පත් එම විරෝදාර රණවිරුවා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
එමෙන්ම, කුරිරු ත්‍රස්තවාදින්ගේ මෝටාර් ප්‍රහාරයකට ලක්ව වර්ෂ 2008 පෙබරවාරි මස 16 වන දින මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ටිකිරි බණ්ඩා ගේ බිරිඳ සහ දරුවන්ට හිසට සෙවණක් ලබාදෙමින් එම ඒකකයේ භටපිිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස ද නිල වශයෙන් භාරදෙන ලදී. මෙම අංගසම්පුර්ණ නව නිවස ඉදිකිරීම සඳහා වය වූ රුපියල් මිලියන 1.3 ක මුදල ටෝකියෝ සිමෙන්ති පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂ එස්.ආර්. ඥාණම් මහතා විසින් ලබාදෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරු සහාය සීමාසහිත ටෝකියෝ සමාගමේ උපදේශක ඉංජිනේරු මෞලි ගුණරත්න මහතා විසින් ලබා දෙන ලදී. අභිනවයෙන් ඉදිකරන ලද නව නිවාස ඉකුත් සඳුදා (16) දින විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන බළඇණි අණදෙන නිලධාරීගේ නායකත්වයෙන් තවත් රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවෙකු වෙනුවෙන් නිවසක් ඉදිකරදෙන ලදී. වර්ෂ 2009 මාර්තු මස 23 වන දින කිලාලි ප්‍රදේශයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් ඇටවු බිම් බෝම්බයකට හසුවී තුවාල ලබා රණක්‍ෂිතයට පත් එම විරෝදාර රණවිරුවා වෙනුවෙන් රුපියල් මිලියන 1.3 ක් වැය කර මංගලගම ප්‍රදේශයේදී එම නිවස ඉදිකරදෙන ලදී. එම නිවස ද ඉකුත් අඟහරුවාදා (17) දින විවෘත කෙරිණි.
නව නිවාස විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයනාත් ජයවීර සහභාගි වූ අතර මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ. මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ නව නිවාස විවෘත කළ රෙජිමේන්තු අධිපතිතුමන් නිවාසලාභීන් වෙත නව නිවාසයන්හි යතුරු භාරදුන්නේය. එම අවස්ථාවේදී නිවාසලාභින් වෙත ගෘහ උපකරණ ද ප්‍රදානය කෙරිනි.
එම අවස්ථාවට රෙජිමේන්තු කවුන්සිලයේ සාමාජිකයින්, ප්‍රතිලාභින්ගේ පවුල්වල සාමාජිකයින්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ. |